
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිටියදී, තම කබායේ විශාල QR කේතයක් සහිත බොත්තමක් පැළඳ සිටිනු දක්නට ලැබුණා.
ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට තම රටේ ක්‍රියාමාර්ග පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එම කේතය ස්කෑන් කර බලන ලෙසයි ඔහු එහි පැමිණ සිටි රාජ්‍ය නායකයන්ට සහ නරඹන්නන්ට තරයේ කියාසිටියේ.
මෙම කේතය ස්කෑන් කිරීමෙන් පසුගිය 2023 ඔක්තෝබර් 07 වන දින දකුණු ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවල බිහිසුණු රූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට පිවිසීමට හැකියි.
එම වෙබ් අඩවියට පිවිසෙන අයට එය නැරඹීමේදී අවවාදාත්මක අනතුරු ඇඟවිමක් ද කෙරෙනවා.
නෙතන්යාහු සිය කතාව අතරතුර සභාවේ අවධානය සිය කේතය වෙත යොමු කරමින් කියාසිටියේ “ලෝකයෙන් බොහෝ දෙනෙකුට ඔක්තෝබර් 07 දැන් මතක නැහැ. නමුත් අපට මතකයි. ඊශ්‍රායලයට හොඳට මතකයි” යනුවෙන්.
“ඔක්තෝබර් 07 ඔබටත් මතක තබා ගත හැකියි. අප සටන් කරන්නේ ඇයිද? යන්නත්, අප ජයගත යුත්තේ ඇයිද? යන්නත් ඔබට පෙනේවි. ඒ සියල්ල මෙහි තිබෙනවා. මෙම වෙබ් අඩවිය නැරඹීමෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ සහ වෙනත් තැන්වල තම සතුරන් සමඟ දිගටම සටන් කරන්නේ මන්දැයි පැහැදිලි වේවි” ඔහු කියාසිටියා.
ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ඔක්තෝබර් 7 ප්‍රහාරවලදී සිවිල් වැසියන් 1,200 ක් පමණ මිය ගොස් ඇති අතර ප්‍රාණ ඇපකරුවන් 250 ක් පමණ පැහැරගෙන ගාසා තීරයට ගෙන ගොස් තිබුණා.
වෙබ් අඩවියට පිවිසි විට බිහිසුණු තොරතුරු පෙන්වන අතරම, ගාසා තීරයට මායිම්ව ඇති ඊශ්‍රායල ප්‍රජාවගේ නිවාසවල ලේ පැල්ලම් සහිත බිම් මහල්, නිවෙස්වල, මාර්ගවල සහ ප්‍රහාරයට ලක් වූ සංගීත උළෙලක බිම අතුරා ඇති පිළිස්සුණු සහ ලේ වැගිරුණු මළ සිරුරු ද එහි දැක්වෙන බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.
ඇතැම් රූප සහ වීඩියෝ ඔක්තෝබර් 07 ප්‍රහාරයේදී ප්‍රහාරකයන් විසින්ම ගන්නා ලද ඒවා බව පෙනී යන බව ද එම වාර්තාවල දැක්වෙනවා.
මෙම වෙබ් අඩවිය ඔස්සේ හමාස් සංවිධානය වෙත මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා එල්ල කරනවා.
කෙසේවෙතත් ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව, වසර දෙකක සිට පවතින මෙම යුද්ධයෙන් 65,000 ක් පමණ මියගොස් තිබෙනවා. ඔවුන් සිවිල් වැසියන් සහ සටන්කාමීන් අතර වෙනසක් නොදක්වන අතර මිලියනයකට අධික පලස්තීනුවන් අවතැන් වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.
අග්‍රාමාත්‍ය නෙතන්යාහු මෙම අවස්ථාවේදී, ඊශ්‍රායලය කිසිවිටෙකත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිනොගන්නා බවට වූ තම ප්‍රකාශය නැවත අවධාරණය කර සිටියා.
අමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ සැසිවාරය නෙතන්යාහු ඇමතීමේදී රාජ්‍ය නායකයන්ගෙන්, නියෝජිතයන්ගෙන් විශාල පිරිසක් සභාවෙන් පිටතට ගියේ ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර, පීඩනයට විරෝධය දක්වමින්.
“ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් පස්සේ ජෙරුසලමෙන් සැතපුමක් දුරින් පලස්තීනුවන්ට රාජ්‍යයක් ලබා දීම යනු, සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ නිව්යෝර්ක් නගරයේ සිට සැතපුමක් දුරින් අල්කයිඩාවට රාජ්‍යයක් ලබා දෙනවා හා සමානයි.” යැයි පැවසූ නෙතන්යාහු වැඩිදුරටත් මෙසේ ද කියාසිටියා.
“ත්‍රස්ත රාජ්‍යයක් අපේ බෙල්ලේ එල්ලන්න අපි ඔබට ඉඩ දෙන්නේ නැහැ”
Latest News
2025 ආසියානු කුසලාන ශූරතාව ඉන්දියාවට

ලොව උසම සහ දිගම පාලම චීනයේ විවෘතයි

පාකිස්ථානයෙන් ඉන්දියාවට ලකුණු 147ක ඉලක්කයක්

කොළඹ වරාය නගරය ගැන ගැසට් නිවේදනයක්

පොළොන්නරුවේ වඳුරන් සහ රිළවුන් අතර බෝවන රෝගයක් පැතිරීමෙන් මහජන සෞඛ්‍ය ගැටළුක්

"මෙවර අයවැයෙන් බදු පැනවීමක් නැහැ": ජනපති ජපානයේ දී කියයි

2025 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

කඩුවෙල පාලම යටින් නරක් වූ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

කයිට් සර්ෆීන් ක්‍රිඩාව (මුහුදු සරුංගල්) ජනප්‍රිය කරන්න කලපු මුහුදු මැදින් තලේමන්නාරමට

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි
