General21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා

අල්ලස් කොමිසම විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන ලෙස ඉල්ලා බාල ඖෂධ මෙරටට සැපයූ බව කියන සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම සම්බන්ධයෙන් මෙම මස 28 දින විරෝධතා ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද (21) නියෝග කළා.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝහල්වලට බෙදාහැර රෝගී ජීවිත අනතුරට පත් කිරීමේ සිද්ධියට අදාළව දූෂණය නමැති වරද යටතේ ගොනු කර ඇති චෝදනාවකට අදාලවයි.

සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා මගින් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියෝග කෙරුණා.

මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිදුකළ බවත් ඒ අනුව තම සේවා දායකයා වසර දෙකක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවද නීතිඥවරයා පැවසුවා.

තවද මෙම සිද්ධියට අදාළව තම සේවා දායකයා ඇතුළු සැකකරුවන් දොලොස් දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම නඩුවට අදාළව තම සේවා දායකයා ඇතුළු සැකකරුවන් දොළොස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබියදී තම සේවා දායකයා දූෂණය නමැති වරද යටතේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම යුක්ති සහගත නොවන බවද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

සිද්ධියට අදාළව තම සේවා දායකයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාල වකවානුව තුළ ඔහු විශාදය නමැති රෝග ලක්ෂණවලින් පෙළුණු බවද එම කරුණු සැලකිල්ලට ගෙන ඔහු සමාජ ගත කළ යුතු බවට ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවා නිර්දේශ කළ තිබූ බවද නීතිඥ බානගල මහතා අධිකරණය හමුවේ පැවසුවා.

මෙහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ මෙවැනි අපේක්ෂිත ඇප අයදුම් පතක් අධිකරණයට ඉදිරිපත් කරන බවට අල්ලස් කොමිසම නොදැන සිටි බැවින් සිද්ධියට අදාලව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

අපේක්ෂිත ඇප අයදුම්පත ගොනුකළ සුගත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හා අල්ලස් කොමිසම අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ විරෝධතා මෙම 28 දින ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

ඇප අයදුම්පත යොමු කළ ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය, වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර, හා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes