General21 October 2025

මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ගෙවී ගිය දින 05 තුළ පමණක් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී නිවාස හා ගොඩනැගිලි 162කට හානි සිදුවී තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිස්ත්‍රික් 6ක පවුල් 180කට අයත් පුද්ගලයන් 731ක් අධික වර්ෂාව නිසා ඇතිවූ අයහපත් බලපෑමෙන් පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානය කියාසිටියේ.

වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර, තද සුළං, නායයාම් හේතුවෙන් කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, බදුල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වල දෛනික කටයුතුවලට බාධා එල්ල වී  ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර අද දිනයේත් ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබුණා.

මේ අතර දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරු 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය සිරිකඳුර වතුයාය ප්‍රදේශයට ලැබී ඇති අතර එය සටහන් වී ඇත්තේ මිලිමීටර් 241ක් ලෙසයි.

මොනරවි ප්‍රදේශයට ද මිලිමීටර් 229ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, බලපිටිය, බෙන්තොටවත්ත, දෙවිතුරා වතුයාය, බද්දේගම, මැණික්කන්ද, ඇල්ලකන්ද වත්ත, ඩේවිඩ්සන් තේ කම්හල් ප්‍රදේශය, බණ්ඩාරගම, කොළඹ කොටුව, දේවගිරි තේ කම්හල් ප්‍රදේශය, අරකවිල, කිරිඇල්ල, ගාල්ල, කොළඹ රත්මලාන යන ප්‍රදේශ ආශ්‍රිතව මිලිමීටර් 100කට අධික වර්ෂාපතනයක් ලැබී තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනාවරණය කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනවා.

මේ අතර අධික වැසි හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටමද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද දන්වා තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි අනාවැකි පළකර ඇත්තේ.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) පමණ දක්වා ඉහළ යා හැකියි. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා.

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යාඥයන් පැවසුවා.

Related Recommends
Hiru TV News | Programmes