General03 December 2025

කැලණි ගඟ සන්සුන් වෙයි

අයහපත් කාලගුණයෙන් ජලය සීඝ්‍ර ලෙස ඉහළ ගිය කැලණි ගඟේ ජල මට්ටම අද සවස් කාලයේදී සාමාන්‍ය මට්ටමට පැමිණියා.

එහි, අවසන් ජල මාපකය වන නාගලගම්වීදිය මාපකයේ අද පස්වරු 4ට පමණ ජල මට්ටම සටහන් වුණේ අඩි 4 .05 ක් ලෙසටයි.

මේ අනුව, කැලණි ගඟ ඇතුළු ගංඟාවල ජල මට්ටමට මෙලෙස සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මල්වතු ඔය තන්තිරිමලේ දී පමණක් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවයි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් වැල්ලම්පිටිය සිට අඹතලේ දක්වා ඇති මාර්ගයේ පැවැති ජල මට්ටම ද මේ වනවිට අඩු වී ඇති අතර ඒ අනුව වැල්ලම්පිටිය මංසන්ධියේ සිට මාර්ගය ගමනාගමනය සඳහා අද විවෘත කෙරුණා.

කෙසේ වෙතත් මෙගොඩ කොළොන්නාව, වෙන්නවත්ත, වෙළේවත්ත, සේදවත්ත, බ්‍රැන්ඩියාවත්ත, කොහිලවත්ත , මීතොටමුල්ල, අඹතලේ වැනි ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.

එසේම, පොළොන්නරුව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවයි පවතින්නේ.

මේ අතර, ඇලහැර කරඳගොල්ල ගොවි සංවිධානයේ සභාපති අයි.ජී. කරුණාරත්න කියා සිටියේ ගංවතුර හේතුවෙන් සිය ගොවිබිම් විනාශයට පත්ව ඇති බවයි.

මේ අතර, පැවති අයහපත් කාලගුණය හමුවේ බදුල්ල - පස්සර, උඩගම ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු අද සොයාගැණුනු බවයි බදුල්ල හිරු වාර්තාකරු පාලිත ආරියවංශ සඳහන් කළේ.

එමෙන්ම, ගම්පොළ - නිල්ලඹ ජලාශය අසල මාර්ගයට පස් කන්දක් පෙරලී ඇති අතර නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි එම ස්ථානයේ නීරීක්ෂණයට පැමිණ සිටියා.
Related recommendation
Hiru TV News | Programmes