General06 June 2026

පිරිමි කණ්ඩායමට සමාන අවස්ථා කාන්තාවන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සමඟ ගිවිසුම්ගත මෙරට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩිකාවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation Committee) අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඊට ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් වන ප්‍රකාශ් ෂාෆ්ටර්, සිදත් වෙත්තිමුණි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර යන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම දිනාල් පිලිප්ස් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ අවන්ති කොළඹගේ සහ තුෂිර රද්දැල්ල යන අය ද සහභාගී වුණා.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ සභාපති එරාන් වික්‍රමරත්න, මෑත කාලයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ සුවිශේෂී දක්ෂතා සහ ඔවුන් ලබාගත් ආසියානු කුසලාන ජයග්‍රහණය බෙහෙවින් අගය කළ අතර, එය "ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය නැවත ලිවීමක්" ලෙසයි ඔහු හැඳින්වූයේ. එමෙන්ම පිරිමි ක්‍රිකට් කණ්ඩායමට හිමිවන මට්ටමේම අවධානයක්, අවස්ථා සහ සහයෝගයක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ද ලබාදීම සහතික කිරීම සඳහා තම කමිටුව කැපවී කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙහිදී ක්‍රීඩිකාවන් ඇමතූ සිදත් වෙත්තිමුණි, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම යන ක්‍රිකට් ප්‍රවීණයන්, පිටිය ඇතුළත මෙන්ම පිටියෙන් පිටතදී ද සාර්ථක ක්‍රිකට් ජීවිතයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රීඩිකාවන්ට වටිනා උපදෙස් ලබා දුන් අතර, ඕනෑම ජයග්‍රහණයක පදනම 'කණ්ඩායම් හැඟීම' බවයි අවධාරණය කළේ.

එසේම එළඹෙන 2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ජාතික කාන්තා කණ්ඩායමට ද කමිටුවේ සුබපැතුම් මෙහිදී පිරිනැමුණා.

Related recommendation
Hiru TV News | Programmes