General17 June 2026

ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්

ගෙවුම් ශේෂ ලේඛනවල (Balance of Payments) "දෝෂ සහ අතපසුවීම්" (Errors and Omissions) යටතේ සටහන් වී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 808ක විෂමතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ලබා දුන් පැහැදිලි කිරීම් පිළිබඳව 'දිනන දකුණ සාමූහිකය' සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ, මේ පිළිබඳව සමාජය, පාර්ලිමේන්තුව සහ මූල්‍ය බලධාරීන් දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු බවටයි.

එසේම "දෝෂ සහ අතපසුවීම්" යනු දත්ත ගැලපීමේදී සිදුවන නොගැලපීම් සමනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම රටක භාවිත වන සම්මත ගිණුම්කරණ පියවීම් ක්‍රමවේදයක් යන තාක්ෂණික පැහැදිලි කිරීම ඔවුන් පිළිගන්නා බවත්, මෙතරම් විශාල වටිනාකමකින් යුත් අගයක් හුදෙක් දත්ත වාර්තාගත වීමේ "කාලීන ප්‍රමාදයක්" හෝ සාමාන්‍ය දත්ත දෝෂයක් ලෙස සලකා බැහැර කිරීම සම්පූර්ණයෙන්ම නුසුදුසු බවත්, දිනන දකුණ සාමූහිකය අවධාරණය කරනවා.

යම් රටක "දෝෂ සහ අතපසුවීම්" අගය, එම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දක්වා වර්ධනය වන විට (මෙහි සටහන් වන සෘණ ඩොලර් මිලියන 808 ක අගය මෙන්), එය තවදුරටත් හුදු තාක්ෂණික පාදක සටහනක් ලෙස සැලකිය නොහැකි බවයි එම සාමූහිකය සඳහන් කරන්නේ.

ඒ වෙනුවට, එය සමස්ත සාර්ව ආර්ථිකයටම නිකුත් කරන දැඩි අනතුරු ඇඟවීමේ රතු එළියක් බවත්, මෙම දැවැන්ත සෘණ පරතරය මගින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ මෙරට ආර්ථිකයෙන් ඉතා බරපතල ලෙස මුදල් කාන්දු වීම්, දත්ත ඌන-වාර්තාකරණය, වැරදි වාර්තාකරණය හෝ නීති විරෝධී ලෙස ප්‍රාග්ධනය රටින් පිටවීම (illicit capital flight) සක්‍රීයව සිදුවන බවටයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.

එම නිවේදනයට අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත සෘජුවම යොමු කරන ලද විවෘත ඉල්ලීමක් මගින් එම සාමූහිකය පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තුව, මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතනවලට මෙම බරපතල කාරණය සුළුකොට තැකීමට හෝ කාපට් එක යටට දමා වසා දැමීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවයි.

අපනයන වටිනාකම් අධි-අගයනය කර විදේශ විනිමය විදේශයන්හි රඳවා තබා ගැනීම සහ ආනයන වටිනාකම් ඌන-අගයනය කර රේගු බදු පැහැර හැරීම වැනි වෙළඳ වාර්තා විකෘති කිරීම් දශක ගණනාවක සිට ශ්‍රී ලංකා ආර්ථිකය වෙළාගෙන ඇති, මැනවින් තහවුරු වූ කරුණක් බවත්, මේ පිළිබඳව රටම දැන සිටියද, මෙම මහා පරිමාණ මූල්‍ය අවභාවිතාවන් වැළැක්වීම සඳහා අර්ථවත් හෝ ආයතනික මට්ටමේ නිවැරදි කිරීමේ පියවරක් ගැනීමට මෙතෙක් පත් වූ කිසිදු රාජ්‍ය පරිපාලනයක් සමත් වී නොමැති බවත්, එම නිවේදනයේ සඳහන්.

මෙම අඛණ්ඩ පද්ධතිමය අසාර්ථකත්වය හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන වටිනා විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන ගණනක් වන අතර, මෙය රටේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලියට සෘජුවම බාධා කරන අතර, එහි බර සමස්ත පොදු මහජනතාව මත පටවනු ලබන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

නිරපේක්ෂ විනිවිදභාවය සහතික කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සතු ව්‍යවස්ථාපිත අධීක්ෂණ බලතල ක්‍රියාවට නංවන ලෙසයි එම ලිපිය මගින් දිනන දකුණ සාමූහිකය එහි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

මතුපිටින් පෙනෙන තාක්ෂණික කරුණු මත පදනම්ව මෙය අවසන් වූ සාකච්ඡාවක් ලෙස නොසලකන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවට ඔවුන් සඳහන් කර තිබෙනවා.

අඛණ්ඩව සිදුවන මෙම දත්ත පරතරයන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් පතුලට කිදා බසින වෝහාරික විගණනයක් මෙහෙයවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නියෝග කළ යුතු යැයි ඔවුන් යෝජනා කරන බවත්, විධිමත් බැංකු පද්ධතියෙන් බැහැරව සමාන්තර වෙළඳපොළවල් (හවාලා/උන්ඩියල්) හරහා ඩොලර් බිලියන ගණනින් මුදල් රටින් පිටතට ගලා යාමට ඉඩ දී ශ්‍රී ලංකාවට සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත නොහැකි බව ඔවුන්ගේ මතය බවත්, එම ලිපියේ සඳහන්.

රජය තවදුරටත් ගිණුම්කරණ පාරිභාෂිතයන් පිටුපස සැඟවී නොසිට, මෙලෙස සිදුවන නීති විරෝධී මූල්‍ය ගලායාම්වලට එරෙහිව වහාම තීරණාත්මක පියවර ගත යුතු බව එම සාමූහිකය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

එම නිවේදනය මෙතැනින්,
Related recommendation
Hiru TV News | Programmes