General16 August 2026

කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ

රුපියල් මිලියන 134කට අධික වියදමක් දරමින් නවීකරණය කරන ලද කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ඒකක පද්ධතියක් අද (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා සුවපහසු සෞඛ්‍ය සේවාවක් සැලසීමත්, රෝහලේ සේවා ධාරිතාව ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 134කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක් මෙම ව්‍යාපෘතිය සඳහා සිදුකර තිබූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම සංවර්ධන වැඩසටහන යටතේ බාහිර රෝගී අංශය, ප්‍රධාන ඖෂධාලය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සෞඛ්‍ය සේවාවන් සිදුකරන ගොඩනැගිල්ල සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුව ඇතුළු ඒකක රැසක් නවීකරණය කර තිබුණා.

මීට අමතරව, වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය, හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමර නවීකරණය කර ඇති අතර, අලුතින් ඉදිකරන ලද සුළු සේවා පාලක කාර්යාලය විවෘත කිරීම සහ රෝහල් පරිහරණය සඳහා අලුත්වැඩියා කරන ලද ත්‍රීරෝද රථයක් භාරදීමද මෙහිදී අද (16) සිදු කෙරුණා.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් නිසි කළමනාකරණයකින් යුතුව වියදම් කිරීම තුළින් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව සම්පත බඳවා ගැනීමට හැකි වී ඇති බවයි.

එපමණක් නොව, අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට රුපියල් බිලියන 45ක් වෙන් කර ඇති බවත්, දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත අතිනවීන කැත් ලැබ් 16ක් ඇතුළු නවීන වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම උත්සවය සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නයනජිත් කොමසාරු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes