International19 August 2026

යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි

යුක්රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් (Mykhailo Fedorov), යුද සමයේදී ජනාධිපතිවරණයක් ඇතුළු මැතිවරණ පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා.

වයස අවුරුදු 35ක් වන ෆෙදොරොව් යූටියුබ් වෙත නිකුත් කළ වීඩියෝ පණිවුඩයකින් සඳහන් කර ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය රුසියාවේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කළ නොහැකි” බවයි.

යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ 2022 වසරේ සිට රට තුළ හදිසි නීතියට සමාන යුද නීති තත්ත්වයක් ක්‍රියාත්මක වන අතර, ඒ හේතුවෙන් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.

ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ රජයට එරෙහිව ෆෙදොරොව් සිදුකළ මෙම ප්‍රකාශය, යුද්ධය ආරම්භ වීමෙන් පසු ඔහුගේ ජනාධිපති ධුරයට එල්ල වූ ප්‍රබලතම අභියෝගයක් ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, සිය වීඩියෝ පණිවුඩයේදී ෆෙදොරොව් ජනාධිපති සෙලෙන්ස්කිගේ නම සෘජුව සඳහන් කර නොමැති බව සඳහන්.

පසුගිය ජූලි මාසයේදී ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ෆෙදොරොව් අනපේක්ෂිත ලෙස ඉවත් කරනු ලැබූ අතර, එම තීරණයට එරෙහිව රට පුරා විරෝධතා ද පැවැත්වුණා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දූෂණයට එරෙහි වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යමින් සහ දත්ත විශ්ලේෂණය භාවිත කර යුද පෙරමුණේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලෙස ෆෙදොරොව් ප්‍රසිද්ධියට පත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහුගේ ඉවත් කිරීම යුක්රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි සමග පැවති මතභේද හා ආතතීන් සමග සම්බන්ධ බවටද වාර්තා පළවී තිබෙනවා.

මේ අතර, යුක්රේන ජනාධිපතිවරයා ෆෙදොරොව්ට රජයේ වෙනත් තනතුරු කිහිපයක් ලබාදීමට යෝජනා කර ඇති නමුත්, ඔහු සඳහන් කර ඇත්තේ යළි රජයට එක්වන්නේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පමණක් බවයි.

ෆෙදොරොව් සිය නව ප්‍රකාශයෙන් තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ කිසිදු ඉඟියක් ලබාදී නොමැති අතර, දීර්ඝ කාලීන යුද්ධයක් මධ්‍යයේ වුවද නීත්‍යානුකූල, ආරක්ෂිත සහ යථාර්ථවාදී මැතිවරණ ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes