General24 August 2026

''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක

මේ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 15කින් පහත බැස ඇති බවත්, ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙන බවත් සජබ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.

‘‘ආණ්ඩුවේ ජනප්‍රියභාවය සියයට 65ක් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් එම තත්ත්වය තිබුණේ දින කිහිපයක් පමණයි. මේ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 15 කින් පහත බැස තිබෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබඳව ජනතාවගේ මතය සියයට 57 සිට සියයට 38 දක්වා අඩු වී තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව ජනතාව සතුව තිබුණ විශ්වාසය අඩු වී තිබෙනවා. ඒ වගේම ආර්ථික අපෙක්ෂාවන් සියයට 64 සිට සියයට 42 දක්වා අඩු වී තිබෙනවා. සමාජයේ තෘප්තිමත්භාවය සියයට 50 සිට සියයට 38 දක්වා අඩු වී තිබෙනවා. මේ කරුණු තුනෙන්ම ආණ්ඩුව විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා.

ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා. මේ සඳහා හේතු ගණනාවක් බලපා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු නොකරීම සහ ආණ්ඩුව ආර්ථිකය ගොඩනැගීමට ගන්නා උත්සාහයන් මතයි මෙවැනි ප්‍රතිඵලයක් ලැබී තිබෙන්නේ. ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ මට්ටමක තිබෙන බව වාර්තා කළ වෙරිටේ රිසච් ආයතනයම අද ආණ්ඩුවේ තත්ත්වය රටට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි කිසිදු පැහැදිමක් නැහැ. රටේ ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් ගොස් තිබෙනවා. ආණ්ඩුවට තිබෙන ජනප්‍රසාදයේ වැඩිවීමක් නැහැ. දිනෙන් දින ආණ්ඩුවට කෙරෙහි තිබුණ ජනප්‍රසාදය බිඳවැටෙමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපති අනුර දිසානායක සහභාගි වන රැස්වීම් මාලාවක් රට පුරා පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාව නැවත මුලාවට පත් කරන්නයි. ඒ වගේම රට පුරා රැස්වීම් පැවැත්වූවාට ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ වගේම ආණ්ඩුවේ ගෙවුණ වසර දෙක ජනතාව කිසිසේත් තෘප්තිමත් නොවුණ වසර දෙකක් බව කිව යුතුයි. ඒ වගේම අනාගත අපෙක්ෂාවන් පිළිබඳව විශ්වාස කළ නොහැකි වසර දෙකක් බවට ආණ්ඩුවේ ගෙවුණ වසර දෙක පත්වී තිබෙනවා.''
Related recommendation
Hiru TV News | Programmes