General08 September 2026

ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව විසින් සම්පූර්ණයෙන්ම දේශීය උපාංග සහ අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කළ පළමු AK-203 Sher ප්‍රහාරක රයිෆලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

විදේශීය රටවල් මත ආරක්ෂක අවි සඳහා පවතින යැපීම අවම කරමින් ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් ස්වයංපෝෂිත වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති දිස්ත්‍රික්කයේ කෝර්වාහි පිහිටි ඉන්දීය-රුසියානු ඒකාබද්ධ ව්‍යවසායක් වන IRRPL කර්මාන්තශාලාවේදී මෙම රයිෆලය නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, රුසියානු නිර්මාණයක් වන AK-203 රයිෆලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම උපාංග සහ අමුද්‍රව්‍ය මේ වනවිට ඉන්දියාව තුළින්ම සපයා ගැනීමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක්.

ඉන්දීය හමුදාව සතුව පවතින පැරණි INSAS සේවා රයිෆල් වෙනුවට AK-203 රයිෆල් 601,427ක් ලබා ගැනීම සඳහා ඉන්දියාව මීට පෙර රුසියාව සමඟ ගිවිසුමකට ද එළඹ තිබුණා.

මේ අතර, පළමු අදියරේ වෙඩි තැබීමේ අත්හදා බැලීම් සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඉන්දීය හමුදාවේ ඉදිරි පරීක්ෂණ සඳහා අවශ්‍ය මූලාකෘති නිෂ්පාදනය ද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.

“මේක් ඉන් ඉන්දියා” (Make in India) වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය තවදුරටත් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes