Business16 August 2026

කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු රු. ට්‍රිලියන 3 සීමාව පසුකරයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු අතර මූල්‍ය අතරමැදි සේවා ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින්, 2026 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී තැන්පතු රු. ට්‍රිලියන 3 සීමාව ඉක්මවූ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.

2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ සමූහයේ තැන්පතු රු. බිලියන 315.13කින් වර්ධනය වී ඇති අතර, එය මසකට සාමාන්‍යයෙන් රු. බිලියන 52.52ක වර්ධනයකි. වසරේ පළමු අර්ධය අවසන් වන විට සමූහයේ සමස්ත තැන්පතු වටිනාකම රු. ට්‍රිලියන 3.02ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය මාස 12ක කාලය තුළ තැන්පතු 20.33%ක කැපී පෙනෙන වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇති අතර, එම කාලය තුළ මසකට සාමාන්‍ය තැන්පතු වර්ධනය රු. බිලියන 42.46ක් වී තිබේ.

සලකා බලන මාස හයක කාලය තුළ සමූහයේ දළ ණය හා අත්තිකාරම් රු. බිලියන 270.43කින් වර්ධනය වී ඇති අතර, එය මසකට රු. බිලියන 45.07ක සාමාන්‍ය වර්ධනයකි. ඒ අනුව බැංකුවේ ණය කළඹ රු. ට්‍රිලියන 2.36ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය මාස 12 තුළ ණය ලබාදීම රු. බිලියන 624.48කින් හෙවත් 36.07%කින් වර්ධනය වී ඇති අතර, එය මසකට සාමාන්‍ය ණය වර්ධනය රු. බිලියන 52.04කට සමාන වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇති අතුරු මූල්‍ය ප්‍රකාශන අනුව, 2025 දෙසැම්බර් මාසයේ සිට 2026 ජූනි 30 දක්වා සමූහයේ සමස්ත වත්කම් රු. බිලියන 361කින් හෙවත් 10.68%කින් වර්ධනය වී රු. ට්‍රිලියන 3.74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාස 12 තුළ සමූහයේ සමස්ත වත්කම් රු. බිලියන 608.16කින් හෙවත් 19.42%කින් වර්ධනය වී ඇත.

“ගෝලීය හා කලාපීය සිදුවීම් ව්‍යාපාර හා ආර්ථිකයන් කෙරෙහි අඛණ්ඩව බලපාමින් පවතින පසුබිමක අපගේ මූලික බැංකු කටයුතු ශක්තිමත්ව පවතින බැවින් ඒ පිළිබඳව පාර්ශ්වකරුවන්ට විශ්වාසයක් තබාගත හැකියි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා පැවසීය.

“වෙනස් වන තත්ත්වයන්ට අනුව බැංකුව සිය සැලසුම් හා උපායමාර්ග අඛණ්ඩව යාවත්කාලීන කරමින් සිටින අතර, ගනුදෙනුකරුවන්ට, පාර්ශ්වකරුවන්ට සහ සමස්ත ප්‍රජාවට දිගුකාලීන ප්‍රතිලාභ ලබාදීම බැංකුවේ ප්‍රධාන අරමුණයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, බාහිර සාධකවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්වලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත සංචිත පවත්වාගෙන යාමට බැංකුව අනුගමනය කරන විචක්ෂණශීලී ප්‍රවේශය මාස හයක මූල්‍ය ප්‍රතිඵලවලින් පැහැදිලි වන බවයි.

“විශේෂයෙන් දෙවැනි කාර්තුවට අදාළව ණය හානිපූරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන වැඩි කිරීමද ඊට ඇතුළත්. ගෝලීය ආර්ථික තත්ත්වයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් අවදානම් කළමනාකරණය කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු කර ඇති අතර, මෙම අභියෝගකාරී තත්ත්වය හමුවේ අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය ලබාදීමට බැංකුව ශක්තිමත් ස්ථාවරයක සිටියි,” ඔහු පැවසීය.

 

Related recommendation
Hiru TV News | Programmes