Business17 August 2026

HNB FINANCE අධ්‍යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ

HNB FINANCE සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස සිවරාජා නන්දකුමාර් සහ පොන්නෙහෙන්නැදිගේ තුමුදු සුපුන් ඩයස් පත් කර තිබේ.

නන්දකුමාර් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, බැංකුකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකයෙකි.

ඔහු මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ විධායක උප සභාපති සහ ප්‍රධාන ව්‍යාපාර මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරමින්, මධ්‍යගත මෙහෙයුම් සහ සහායක සේවා ඇතුළු බැංකුවේ සමස්ත මෙහෙයුම් කටයුතු සඳහා නායකත්වය, උපායමාර්ගික මඟපෙන්වීම සහ අධීක්ෂණය ලබා දෙයි.

නන්දකුමාර් මහතා Lanka Financial Services Bureau හි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරන අතර, එහි අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වේ.

හැටන් නැෂනල් බැංකුවේ වසර 34කට අධික සේවා පළපුරුද්දක් ඇති ඔහු, ශාඛා බැංකුකරණය, මෙහෙයුම් කළමනාකරණය, කලාපීය නායකත්වය, පෞද්ගලික බැංකුකරණය සහ ව්‍යාපාර සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහ ආයතනික නායකත්ව තනතුරු හොබවා ඇත.

බැංකුවේ වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ගනුදෙනුකාර ප්‍රවේශය පුළුල් කිරීම සහ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.

සුපුන් ඩයස් මහතා එක්සත් රාජධානියේ Chartered Institute of Marketing වෙතින් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති අතර, එම ආයතනයේ වරලත් අලෙවිකරුවෙකු ද වේ. ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාන්‍ය යාවජීව සාමාජිකයෙකු ද වේ.

ඔහු මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ විධායක උප සභාපති සහ ජාල ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කරමින්, බැංකුවේ ශාඛා ජාලය සහ බෙදාහැරීමේ නාලිකා සඳහා උපායමාර්ගික නායකත්වය සහ සමස්ත මඟපෙන්වීම ලබා දෙයි.

හැටන් නැෂනල් බැංකුවේ වසර 34කට අධික සේවා පළපුරුද්දක් ඇති ඩයස් මහතා, අලෙවිකරණය සහ ජාල කළමනාකරණය ප්‍රධාන කරගත් ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකරණ තනතුරු රැසක් හොබවා ඇත.

Related recommendation
Hiru TV News | Programmes