General25 September 2025

දුෂණයට එරෙහි සටන භයානකයි.. ඊට එරෙහි නොවීම ඊටත් වඩා භයානකයි -ජනපති ලෝකයට කියයි

දූෂණයට එරෙහි සටන භයානක නමුත් දූෂණයට එරෙහි නොවී සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක නායකයන් හමුවේ අවධාරණය කරනවා.

ඒ මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි මහා මණ්ඩල සැසියට එක්ව ලෝක නායකයන් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.

"දුෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක්. දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වනවා. දුෂණයට එරෙහි සටන භයානකයි. දුෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා."

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙසත් ජනාධිපතිවරයා‍ ලෝක නායකයන් වෙත ආරාධනා කර සිටියේ මෙලෙසයි.

"ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහා ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම්, රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරගෙන තිබෙනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහාප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා. මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීම ලෝක න්‍යාය පත්‍රයේ සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වල සංක්‍රමණය වීමේ ඉඩප්‍රස්තා අවුරාලීම, මේවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයනය කරන මධ්‍යස්ථාන බිහිකිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබේ අවධානයට යොමු කරනවා."

ජනාධිපතිවරයා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේයි.

"ලෝකයේ ජාතීන් අතර සාධාරණ හා කල්පවතින සාමයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමේ උදාර අරමුණු පෙරදැරි කරගෙන බිහිකළ මේ සුවිශේෂී සංවිධානය 80 වැනි සැසිවාරයේ සභාපති ලෙස තේරීපත්වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනියේ අතිගරු අන්නලේනා බයෝබර්ක් මැතිනියට මා උණුසුම් සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයම මවිතයට පත්කරන භූගෝලීය හා සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ලෝමාන් යෑන් හිටපු සභාපතිතුමා ලබාදුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. සාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශවික ගමන්මග සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටට පත්වෙනවා.

ඔබ අප සෑම දෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි, ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරා දුන් ඓතිහාසික වගකීමක් අප සියලු දෙනාගෙම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතනක හෝ ජීවත්වෙන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරනවා. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණදෙන අතිශයින් බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්න පුළුවන්. 
ඒ මහා ව්‍යසනය හේතුකොටගෙන නිර්මාණය වූ තවත් බරපතළ ගැටළු කිහිපයක් අපි ඉදිරිය අන්ධකාර පීඩාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ පිළිබඳව මෙම සුවිශේෂ සමුළුවේ අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂිය හඬනගා කියනවා. බොහෝවිට මේ සියල්ල ඔබගේ හෘද සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනවා ඇතැයි මා සිතනවා.

සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ බහුතරයක් රටවල් සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා.එය විවිධ මුහුණුවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර, අප මේ සමුළුව රැස්ව සිටින මොහොතේත් මාද ඇතුළුව මේ සෑම නියෝජිතයකුම රටවල්වල අඩුවැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. නමුත් නැතිබැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා. තාක්ෂණයෙන් පිරිපුන් යයි උදම් අනන ලෝකයක් පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවසනාවන්ත තත්ත්වයක්ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනගන අත්තිවාරම වෙනවා.
අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සළකනවා. බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල්වල දුප්පත්කමට මුහුණ දීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමාන්‍යයෙන් අඩුආදායම්ලාභී රටවල් සෞඛ්‍යය හෝ අධ්‍යාපනය සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකටත් වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා.
පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල හිරවී සිටිනවා. මේ තත්ත්වයට සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රයේ කිසිවකු අතහැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා. අද ලෝකය පුරාමත් මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරීමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය හඳුනාගෙන තිබෙනවා.

1995දී කෝපන්හේගන්හිදී පැවතී සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේදී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමුකරවනවා. නමුත් අනපේක්ෂිත යුද්ධ දේශපාලන ව්‍යාකුලතාවයන් වගේම ලෝකයේම කුණාටුවකට හසුකළ කොවිඩ් වසංගතය නිසා අභිලාශකාමී න්‍යායපත්‍රය ව්‍යාකූලත්වයට පත් කොට තිබෙනවා. ඒ නිසා ඇති-නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සළකා කටයුතු කළ යුතුව තිබෙනවා.

ගරු සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි,
මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත් පත්වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා.

ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපල වාර්තාගත ලෙස ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම් රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා.
මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත්වී තිබෙනවා. මෙම ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වලට සංක්‍රමණය වීමේ ඉඩප්‍රස්ථා අවුරාලීම, මේවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මම මේ මොහොතේ ඔබගේ අවධානයට යොමු කරවනවා.

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,
දූෂණය, සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයට හේතුවන වසංගතයක් විදියට අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත් දූෂණයට එර‍ෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. 1948දී මානව හිම්කම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ඨාචාරයේ විවිධ ජයග්‍රහණයන් එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටනත් අසීරු පියවරක්. එහෙත් අප ඒ පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසීරු විය හැකියි. නමුත් අප නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමඟ ඒවි යැයි මා විශ්වාස කරනවා.

ගරු සභාපතිතුමියනි, නියෝජිතවරුනි,
'නිර්භීතවන්න, ඉතුරු සියල්ල ඉබේම වේවි' යැයි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මා සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත් වෙන පුංචි දීප්තිමත් දූපතක්.

ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3%ක් පමණ වෙනවා. අපේ රටේ වගේම රටේ සිටින ජනසංඛ්‍යාව ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. නමුත් අපේ රටෙත් ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කොට තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මා යෝජනා කරනවා.

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,
ඔබ කුමන රාජ්‍ය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතන හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුණත් ඒ හරහා සිදුවන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක තුනකට වඩා වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනක් සැමරුම් ස්මාරක අසලට පැමිණි ඔවුන්ගේ දෙමව්පියන් දූ දරුවන් බිරින්දෑවරුන් දෑත් එක්කරගෙන නඟන වේදනාබර ආයාචනය දකින ඕනෑම කෙනෙක්, යුද්ධයක සිහිනයක් දැකීමට පවා අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා.

ගැටුම් නිසා මිනිස්සුන්ට විඳින්න සිදුවී ඇති දුක් පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී තිබුණත් බොහෝවිට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනකගේ දුක්වේදනා අවසන් කිරීමට අ‍පොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්වී තිබෙනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පාපන්දුවක් බවට පත්කිරීම අවස්ථාවාදී බල දේශපාලනය ඛේදවාචකයක් වී තිබෙනවා.
තමන්ගේ බලය වැඩි කරගැනීමට තවත් කිසිවෙකුටත් ජීවිතවලට බලපෑම් කිරීම සහ පීඩාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස, ජීවිත විනාශ කිරීම නොවේ. ගාසා තීර‍යේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිරකඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව්පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත දෙපාර්ශවය කඩිනමින් සටන් විරාමයකට යොමුවීමත් බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත් සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬනඟනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.

පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා.
ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනා ගත යුතුව තිබෙනවා. 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යයන් දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ හා ස්ථිර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නකු බවට පත්වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළඹ තිබෙනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත්කරන යුද ගැටුම්වලට උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවය අහෝසි කර සියවසක් ඉක්ම ‍ගොස් ඇතත් වර්ගවාදයේ විෂ තවමත් තැන තැන තිබෙන බව නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අලුයට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි.

එහි බිහිසුණු තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ගිනිපුපුරු විටින් විට මහා ගිනිජාලාවක් බවට පත්කිරීමයි. ආයුධ මගින් ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට මානව ශිෂ්ඨත්වයේ වටිනාකම්වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මියයන ලෝකයක අපි අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා.
නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණන් ජනතාව මරණයේ මාවත තෝරාගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නමැති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුම් හෙළන විට භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකිනම් එය ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත්වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක්වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහිකරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමුයි කියා මා යෝජනා කරනවා.

ගෞරවනීය ආරාධිත අමුත්තනි,
ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා.
එයින් බිහිවූ ව්‍යවස්ථාදායකය විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවන්ත විශ්වාසයක් තැබුවා.
තව අතකින් දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජනය ඓතිහාසික තත්ත්වයක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලනතන්ත්‍රය තුළ ජනවාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසකම් සහ අවස්ථාවන් ලබාදීම සඳහා අප තුළ ඇති කැපීවීම නැවත බලගන්වනු ලබනවා.ඒ වගේම මහජන නියෝජිතයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් විය යුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධන වීම නොවන බව අප විශ්වාස කරනවා.

සභාපතිතුමියනි, සම්භාවනීය අමුත්තනි,
අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරේ අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජයගනිමින් සිටිනවා. වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපගේ නව ඉලක්කය ලෝක‍ය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවන්ට ප්‍රවේශවීමට හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථා විවරවීම සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැලැක්විය නොහැකි වෙනවා.
එනමුත් එසේ කිරීමට අප අසමත් වුවහොත් තාක්ෂණයේ අසමානතාවය අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇතිවීමට තුඩුදෙන තවත් බලවේගයක් වන බව අප විශ්වාස කරනවා.
ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘතිම බුද්ධිය භාවිතා කිරීමට යටිතල පහසුකම් අවම වීම බලපා තිබෙනවා.

ගෞරවනීය සභාපතිතුමනි, ආරාධිතයිනි,
අප නව ලෝකයක් බොහෝ යහපත් ලෝකයක් මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනගා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයෙන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහනිර්මාණ ශිල්පීන් විය යුතුයි.
අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධාන පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී ටෲමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා. අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි මෙන්ම එය වඩා සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව අප ඇපකැප වූ පරපුරක් ලෙස මෙම සමුළුවේදී අධිෂ්ඨාන කරගනිමු.

අවසාන වශයෙන්, මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කරදීම මගේ ඒකායන සිහිනය වෙනවා.

ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කරදීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා. නිරෝගී ධරණි තලයක සාමය, ගෞරවය හා සමානාත්මතාව වෙනුවෙන් කැපවෙමු යනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. එය ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෙහෙවින්ම ස්තූතියි."

Related Recommends
Hiru TV News | Programmes