General14 October 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන උපයෝගිතා කොමිසමේ තීරණය අද

මේ වසරේ අවසන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම වසරේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා වන අවසන් කාර්තුව සදහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබෙනවා.

මේ අතර, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින විදුලි වෘත්තිය සමිති සහ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේදී සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළ බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, ඇති කරගත් එකඟතා අනුව, දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා සම්බන්ධවී සිටින වෘත්තිය සමිති අද රැස්වී එහි ඉදරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

කෙසේ වෙතත්, ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ වෘත්තීය සමිතියක් වන ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම් සමින්ද ගමගේ විසින් ලිපියක් යොමු කිරීමට යාමේදී යම් සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව අදාල පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මෙහිදී තමාට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදුන් බවයි ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම් සමින්ද ගමගේ චෝදනා කළේ.
Related recommendation
Hiru TV News | Programmes