General26 November 2025

එප්පාවල විදුහල්පති යළිත් රිමාන්ඩ්

මත්කුඩු සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා ලබන දෙසැම්බර් මස 12 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දින නියෝග කර තිබෙනවා.

තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ, සැකකාර විදුහල්පතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර විදුහල්පතිවරයා පසුගිය නොවැම්බර් මස 5 වන දින අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එප්පාවල, කටියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, සැකකරු විසින් එප්පාවල - ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 1 යි ග්‍රෑම් 185 යි මිලි ග්‍රෑම් 400 ක්.

අනතුරුව විදුහල්පතිවරයා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු නොවැම්බර් 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

අද දින සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මහේස්ත්‍රාත්වරිය විසින් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත නියෝග කරනු ලැබුවේ සැකකරුගේ දුරකථන දත්ත වාර්තාවක් සහ මත්කුඩු යැයි සැක කරන සාම්පල් රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර, එහි වාර්තාවක්ද දෙසැම්බර් 12 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

තවදුරටත් නියෝග කරමින් මහේස්ත්‍රාත්වරිය, දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, විදුහල්පතිවරයාගේ පුතා ද මෙම නඩුවට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes