General28 November 2025

කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් හරවා යැවේ

ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ, ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 437 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම, ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , ඕමානයේ මස්කට් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 සහ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.

ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ වෙත දමාම් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 254 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes