General30 December 2025

දතක් ගැලවීමෙන් පසු රෝගී වී තරුණියක් මරුට

දතක් ගැලවීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ 20 හැවිරිදි තරුණියක් ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය පෙරේදා (28) රාත්‍රියේ මියගොස් ඇතැයි හොරණ හදිසි මරණ පරීක්ෂණ උසාවියෙන් වාර්තා වුණා.

මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරහේන, පොකුණුවිට ලිපිනයේ පදිංචි කෝට්ටගේ දෙව්මි මදුෂිකා නමැති තරුණියක්.

මෙම තරුණියගේ උඩු ඇන්දේ කෙළවර පිහිටි දතක වේදනාවක් ඇතිවීම නිසා පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ගොස් ඇත්තේ ඉකුත් (14) වැනිදා බවට වාර්තා වෙයි.

එදින ඇගේ එම දත ගලවා ගෙන පැමිණ ඇති අතර ඉන් පසු ඇයට දිගටම වමනය සහ උදරාබාධය ඇතිවීම හේතුවෙන් ඉකුත් (15) වැනිදා නැවතත් පෞද්ගලිකව ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් තිබූ බව සඳහන්.

එම අවස්ථාවේ ඇයට රුධිර පීඩනය අඩු බව පවසා ඇයව රෝහල් ගත කරන ලෙස පවසා ඇතැයි වාර්තා වුණා.

ඒ අනුව ඇය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස  මියගොස් තිබුණා.

දේහය සම්බන්ධයෙන් පශ්චාත්  මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ විසින් සිදු කළා.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් වැඩිදුර විමර්ශන සඳහා යොමු කරන ලෙස හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් දැනුම් දී තිබුණා.

Related recommendation
Hiru TV News | Programmes