General31 January 2026

ඇල්ටෝ ධර්මේගේ ‘ආයුධ කල්ලිය’ කොටු වෙයි

මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.

විදේශගතව සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ හෙවත් ‘ඇල්ටෝ ධර්මේ’ නමැත්තා මෙහෙයවන මෙම කල්ලිය, ඔහුගේ සමීපතමයෙකු වන ‘දුමිඳු’ නමැත්තාගේ උපදෙස් මත ක්‍රියාත්මක වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී තියුණු කඩු 3ක්, රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලට අනුව, මෑත කාලයේදී මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ දරුණු ආයුධ ප්‍රහාර රැසකට මෙම කල්ලිය සම්බන්ධ වී ඇති අතර, ඇල්ටෝ ධර්මගේ ප්‍රතිවාදී කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික තුවාල සිදුකිරීම සහ පසුගිය 26 වැනිදා මොරටුව එල්ලුනාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකිරීමද ඇතුලත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Related recommendation
Hiru TV News | Programmes