General26 April 2026

මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන්ට මැයි 02 දක්වා රැඳවුම් නියෝග

රුපියල් කෝටි 110ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා ලබන මැයි මස 02 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර අද (26) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.

විශේෂ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රී 10.30 ට පමණ සිදු කළ මෙම වැටලීමේදී, තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයක් නිම කර මෙරටට පැමිණි මෙම චීවරධාරීන් විසි දෙදෙනා ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා.

මෙය ලක් ඉතිහාසයේ චීවරධාරීන් මෙවැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට හසු වූ ප්‍රථම අවස්ථාව මෙන්ම කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

සැකකාර චීවරධාරීන් විසි දෙදෙනා විසින් මෙරටට ගෙනඑනු ලැබූ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකසා ඒ තුළ 'කුෂ්' සහ 'හෂීස්' වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110 ක් සඟවා තිබූ බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල්වලට ඉහළින් පෑන්, පැන්සල් වැනි පාසල් උපකරණ සහ රසකැවිලි අසුරා අතිශය සූක්ෂම ලෙස මෙය සිදුකර තිබූ බවත් එක් අයෙකුගේ ගමන් මල්ලක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ත් 05 ත් අතර ප්‍රමාණයක් අසුරා තිබී සොයා ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදි‍රිපත් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් බවත්, මොවුන් ඉකුත් 22 වැනිදා බැංකොක් බලා පිටත්ව ගොස් ඇත්තේ කිසියම් අනුග්‍රාහකයෙකු ලබා දුන් ගුවන් ටිකට්පත් මගින් බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වුවා.

සැකකාර චීවරධාරීන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, ඔවුන් විදේශයේදී සිවුරු ඉවත් කර සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

අධිකරණය හමුවේ සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ අජිත් පතිරණ, නිතීඥ නෙල්සන් කුමාරනායක, නීතිඥ දුලීෂා විජේසූරිය නිතීඥ තරිඳු වික්‍රමනායක, නිතීඥ බුද්ධි උදාර, නිතීඥ සචිත් වෙල්ගම සහ නිතීඥ නාමල් වනිගසූරිය කරුණු ඉදිරිපත් කළා.
Related recommendation
Hiru TV News | Programmes