General17 June 2026

උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීම හෙට (18) කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේ දී සිදු කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

මෙරට තැපැල් සේවාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ජනතාවට තැපැල් සහ මූල්‍ය සේවා පහසුවෙන් ළඟා කර දීම සඳහා පිහිටුවා ඇති උපතැපැල් කාර්යාල ජාලය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සපයන පද්ධතියක් බවට පත් කිරීමට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ යටතේ උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට වත්මන් රජයේ මඟපෙන්වීම යටතේ මෙම පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

2019 වසරේ පමණ සිට වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ නිලධාරීන් මෙලෙස ස්ථිර කිරීමට නියමිතයි.

ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2020 ඔක්තෝම්බර් 15 දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරන ලද 192 දෙදෙනෙකු සඳහා මෙලෙස පත්වීම් පිරිනැමෙන අතර මෙම තනතුරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරුයි.

උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් ගොඩනැගිල්ලක් සොයා ගත යුතු අතර, එම ගොඩනැගිලි සඳහා රජයෙන් මීට පෙර ගෙවනු ලැබූ රුපියල් 1500 ක දීමනාව 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7500 ක් දක්වා ඉහළ නැංවීමට ද වත්මන් රජය පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

1921 වර්ෂයේදී උප තැපැල් කාර්යාල 06 කින් ආරම්භ වූ මෙරට උප තැපැල් ස්ථානාධිපති සේවාව, මේ වනවිට දිවයින පුරා අනුමත උප තැපැල් කාර්යාල 3410 දක්වා ව්‍යාප්ත වී ඇති විශිෂ්ට රාජ්‍ය සේවාවක් බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes