General29 June 2026

දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූනි 05 වැනිදා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු, පෙරේදා (27) ගල්ගමුව පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් ක්‍රමවත්ව බදු ගෙවන ආයතන වෙත දුරකතන ඇමතුම් ලබා දී ඇති බවයි.

එහිදී තමන්ගේ පෞද්ගලික හදිසි අවශ්‍යතාවයක් පවතින බව පවසා වංචනික ලෙස එම ආයතනවලින් සිය බැංකු ගිණුමට මුදල් තැන්පත් කරවා ගැනීමට මොහු කටයුතු කර ඇතැයි පොලිසිය පවසනවා.

මීට පෙරද මෙවැනිම ආකාරයෙන් සිදු කළ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින්ද මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අයකු බවද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (28) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නඩුව ලබන ජූලි මස 06 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes