General04 July 2026

ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී

එක්සත් ජාතීන්ගේ ලෙබනන් අතුරු බලකායේ (UNIFIL) සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත 17 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම විසින් පවත්වනු ලැබූ නිල ආචාර පෙළපාලිය අද (04) කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැත්වුණා.

මෙම ආචාර පෙළපාලියේ ගෞරවය පිළිගනු ලැබුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ විසින්.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ බලකා සහ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසු නිලයන් 103 දෙනෙකු ඇතුළුව සමස්ත සාමාජිකයින් 112 දෙනෙකුගෙන් මෙම 17 වන බලඇණිය සමන්විත‍යි.

ආචාර පෙළපාලිය අමතමින් යුද්ධ හමුදාධිපතිවරයා කියා සිටියේ ලෙබනන් රාජ්‍යයේ රාජකාරි ඉටු කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිරීති හා රෙගුලාසි දැඩිව පිළිපැදීමට සියලුම භට පිරිස් වගබලා ගත යුතු බවයි.

එසේම, මෙවැනි ජාත්‍යන්තර සාමසාධක මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා දේශයටම විශාල ජාත්‍යන්තර කීර්තියක් සහ ඉහළ වටිනාකමක් අත්වන බව ද එතුමා වැඩිදුරටත් සිහිපත් කළා.

මෙම සුවිශේෂී අවස්ථාව සිහිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් මෙන්ම ලෙබනන් බලා පිටත්ව යන වීරෝදාර සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් ද විශාල පිරිසක් කුරුවිට සරඹ භූමිය වෙත පැමිණ සිටියා.
Related recommendation
Hiru TV News | Programmes