General04 July 2026

ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

ඩෙංගු ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුව වෛරස් ප්‍රභේදයේ සිදුව ඇති වෙනසක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

මෙවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් වසර හතරකට වරක් චක්‍රීයව ඇති වන බවත් එය ස්වභාවික ප්‍රවණතාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.

වත්මන් සමාජයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන පසුබිමක අදහස් දක්වමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අඛණ්ඩව පරිසරය පිරිසිදුව තබා ගැනීම හා මහජනතාව සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමටත් වගබලා ගත යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඩෙංගු මදුරුවන් බෝවෙමින් ඇත්තේ සාමාන්‍ය කානු පද්ධති හෝ ඇළ මාර්ගවලට වඩා නිවාස හා ගොඩනැගිලි තුළ එකතු වන පිරිසිදු ජලයේ බවට අනාවරණය වී ඇති බවද ඔහු පවසනවා.

ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම වෙනුවෙන් පසුගිය දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා.

එහිදී හඳුනාගත් අධි අවදානම් කලාපවල පිහිටි නිවාස 3,500ක් පමණ පරික්ෂාවට ලක්කර තිබුණා.

මෙම අඛණ්ඩ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට කෝට්ටේ ප්‍රදේශය තුළ ඩෙංගු ව්‍යාප්තිය යම් මට්ටමකට පාලනය කරගැනීමට හැකිව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes