General11 July 2026

ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි: මරණ 47ක්

ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් ඒ පිළිබඳව සඟවාගෙන නොසිට ඉක්මනින් ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගයාන් ප්‍රසංග ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් පෞද්ගලික පරීක්ෂණාගාරවලින් රුධිර පරීක්ෂා කර රෝගය වැළඳී ඇති බවට වසන් කරන බවයි.

ඩෙංගු රෝග ව්‍යාප්තියේ තවමත් අඩුවක් දක්නට නොලැබෙන පසුබිමක ගෙවුණු දිනය තුළ ද රෝගීන් 1079 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 67,143 වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර, මේ වනවිට වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 47 ක්.

මෙවන් පසුබිමක ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණින් දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මේ අතර, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිංහපුර මාවතේ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වුණා.

මේ අතර, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඩෙංගු බෝ කරන ස්ථාන සඳහා පැනවූ නඩු විභාග කිරීමේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21 ක දඩ නියම කර තිබෙනවා.

මෙය දිනක් තුළ ඩෙංගු බෝ කරන ස්ථාන සඳහා ලබාදුන් වැඩිම දඩය ලෙසයි සැලකෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes