General16 July 2026

කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කරන ලද අදහස් දැක්වීමක් හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත එම රැස්වීම අතරමග අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුසලතා සංවර්ධන ශාලාවේදී අද (16) මෙම රැස්වීම පැවැත්වුණේ ධීවර අමාත්‍ය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ මූලිකත්වයෙන්.

රැස්වීම අතරතුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෝදනා කර සිටියේ තිරුවයියාරු ප්‍රදේශයේ ලාල් කාන්ත විසින් සිදු කරන ලද පොල් වතු බෙදා හැරීමේදී වංචාවක් සිදුවී ඇති බවයි.

මෙම චෝදනාවත් සමඟ රැස්වීම තුළ දැඩි තර්ක විතර්ක ඇති වූ අතර, එම තත්ත්වය තීව්‍ර වෙද්දී කිලිනොච්චි දිස්ත්‍රික් රජයේ සභාපතිවරයා ද මෙම වංචා කාරණයට හවුල් වී ඇති බවට මන්ත්‍රීවරයා සෘජුවම චෝදනා කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මත ගැටුමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති අතර, එහි සිටි මහජන සංවිධාන නියෝජිතයින් සහ සභාපතිවරුන් අතර ද දැඩි මතභේද හටගත් බව සඳහන්.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් රැස්වීමෙන් පිටව ගිය අතර, ඉන් අනතුරුව රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු නිලධාරීන් ද එකින් එක රැස්වීම් ශාලාවෙන් පිටව යාමට පියවර ගෙන තිබුණා.

මෙලෙස නිලධාරීන් පිටව යාම හේතුවෙන් අවසානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරමග අත්හිටුවීමට මුලසුනට සිදුව තිබුණා.

කෙසේ වෙතත් මෙම ව්‍යාකූලත්වය ඇති වීමට පෙර රැස්වීම සුපුරුදු පරිදි ආරම්භ වී තිබූ අතර, එහිදී මෙම වසරේ (2026) කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මධ්‍යම සහ පළාත් රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිලධාරීන් විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම් ද සිදු කර කළා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, කේ. ඉලංගුමාරන්, රාමනාදන් අර්චුනා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, පොලීසිය, නාවික හමුදාව, හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විවිධ රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් ද සහභාගී වී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes