General18 July 2026

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව එළඹෙන 20 වැනි සඳුදා බොරැල්ල කනත්තේදී සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වූ සී. ඩී. වික්‍රමරත්න, මාලඹේ තලාහේන පරාක්‍රම මාවතේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටියදී ඉකුත් 17 වැනිදා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් දෙකක් මඟින් පුළුල් විමර්ශන පවත්වන අතර, මරණයට හේතුව නිශ්චිතව තහවුරු කෙරෙන අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෙඩි තබා ගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවිය ලබන සඳුදා, අධිකරණය හරහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර ප්‍රකාශ කළා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය පවසා තිබුණේ සිය පුත්‍රයා සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්තක් හේතුවෙන් ඔහු දැඩි කම්පනයෙන් සිටි බවටයි.

එමෙන්ම සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සිදු වීමට පෙර ඔහු හමු වීමට මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන්ද මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අදාළ නිවසේ ඇති සී.සී.ටී.වී. දර්ශන ඔස්සේද ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes