General18 July 2026

මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා

මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ජාවාරම හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම, සුව සැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් රජය වසරකට වැය කරන මුදල මෙන් අට ගුණයකටත් වඩා වැඩි බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

පවතින ක්‍රමවේදය යටතේ මුද්‍රිත ස්ටිකරයක් වෙනුවෙන් වැය කරන මුදල හා සමානම මුදලක් ඩිජිටල් ස්ටිකරයක් වෙනුවෙන්ද රජයට වැය කිරීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

සාමාන්‍යයෙන් මත්පැන් බෝතලයක මිලෙන් විශාල ප්‍රමාණයක් රජයේ බදු මුදල් ලෙස එකතු විය යුතු වුවද, මෙම ස්ටිකර් වංචාව නිසා එම සමස්ත මුදලම ජාවාරම්කරුවන් අතට පත්වන බව හෙතෙම සඳහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා අවම වශයෙන් පරිගණක පද්ධතියක් (Computer System) හෝ ස්ථාපිත කිරීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

හිරු සී.අයි.ඒ. (Hiru CIA) කණ්ඩායම ලබාදුන් තොරතුරක් මත පසුගිය මස 28 වැනිදා මාලඹේ, සුදර්ශන මාවතේ පිහිටි නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලනු ලැබුවා.

එහිදී වැටලීම් නිලධාරීන් පවා පුදුමයට පත් කරමින්, සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ආරක්ෂිත ස්ටිකර් වර්ගයට සමාන ස්ටිකර් අලවන ලද මත්පැන් බෝතල් 18,000කට අධික ප්‍රමාණයක් සහ මහා පරිමාණ ස්ටිකර් තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වුණා.

මෙම මහා පරිමාණ ස්ටිකර් ජාවාරම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර සිටින්නේ, අදාළ ස්ටිකර් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අනුදැනුම මත හොර රහසේ පිටතට පැමිණි ඒවාද, නැතහොත් වෙනත් පාර්ශ්වයක් විසින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඒවාද යන්න පිළිබඳව වහාම විමර්ශනය කළ යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes