General20 July 2026

බිහිසුණු අනතුරෙන් හමුදා කොප්‍රල්වරයාට දිවි අහිමි වෙයි

ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්දිය අසලදී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ දාරුණ අනතුරකින් යුද හමුදා කොප්‍රල්වරයකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නැමැති දෙදරු පියෙක්.

මියගිය නිලධාරියා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති දීර්ඝ හමුදා පුහුණුවකින් පසු ඉකුත් 19 වැනිදා නිවසට පැමිණ ඇති අතර, අද (20) දින යළි සේවය සඳහා වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ආණමඩුව කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයේ 5 සහ 8 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන තම දියණියන් දෙදෙනා යතුරුපැදියෙන් පාසලට ඇරලවා ආපසු ඌරියාව බලා යමින් සිට ඇති බව වාර්තා වෙන්නේ.

මියගිය කොප්‍රල්වරයාගේ එක් දියණියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දැරියක්.

පුත්තලම දෙස සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පුත්තලම ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථය යතුරුපැදිකරු ද යටකරගෙන මීටර 100කට ආසන්න දුරක් ඇදී ගොස් නැවතී ඇති අතර, අනතුරින් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී තිබෙනවා.

පොලිසිය පවසන පරිදි අනතුර සිදුවූ පරමාකන්ද මංසන්දිය අවට මීටර 100ක සීමාව නිරන්තරයෙන් මාරක රිය අනතුරු සිදුවන අධි අවදානම් කලාපයක් බවයි.

Related recommendation
Hiru TV News | Programmes