General20 July 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ, පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.

හිටපු පොලිස්පතිවරයා මාලඹේ - තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 17 වැනිදායි.

අනතුරුව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ඊයේ තැන්පත් කෙරුණු අතර ඊයේ උදෑසන සිටම දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුලු බොහෝ පිරිසක් පැමිණ සිටියා.

අනතුරුව අද පස්වරු 02 ට පමණ දේහය තැන්පත් කෙරුණු බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් මල්ශාලාවේදී අවමංගල්‍ය උත්සවය ආරම්භ වුණා.

අවමංගල්‍ය උත්සව සභාවේ ගුණකථනයන් සිදුකෙරුණු අතර, පසුවයි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය, පවුලේ සාමාජිකයින් ඇතුලු පිරිස විසින් රථ පෙරහරකින් බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවේ.

ඉන්පසු හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පොලිසිය වෙත භාරදීම සිදුකෙරුණා.

අනතුරුව හිටපු පොලිස්පතිවරයාගේ දේහය පෙළපාලියකින් භූමදානය කරන ස්ථානය වෙත රැගෙන ආවේ පූර්ණ පොලිස් ගෞරව ලබාදෙමින්.

එහිදී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 39 ක් ක් ලබාදීම ද සිදුකෙරුණා.

අනතුරුව හිටපු පොලිස්පතිවරාගේ චරිතාප්‍රදානය සිදුකළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින්.

මේ අතර හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට වෙඩිවැදී මියයෑමේ සිද්ධියට අදාළව මිලිමීටර 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, පතොරම් කොපු සහ මීට අදාල අනෙකුත් සියලුම නඩු භාණ්ඩ ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළා.

ඒ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes