General22 July 2026

පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සහ ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන මූල්‍ය අක්‍රමිකතාවලින් සහ වංචාවලින් ප්‍රවේශම් වන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

අන්තර්ජාල WhatsApp සහ Telegram වැනි සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින්, පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සංවිධානාත්මක පිරිස් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් පිළිබඳව නිතර පැමිණිලි ලැබෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් පොලිසිය මගින් විමර්ශන සිදුකර සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන ඒකකයකින් බව පවසමින් ස්ථාවර හෝ ජංගම දුරකථන වෙත ඇමතුම් ලබා ගැනීම.

නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති බව හෝ අදාළ බැංකු ගිණුම් මුදල් විශුද්ධිකරණය (Money Laundering) සඳහා යොදාගෙන ඇති බැවින් නඩු පවරන බවට බියගැන්වීම.

රහස්‍ය විමර්ශනයක් සිදුකරන බව පවසමින්, උදව් කරන්නේ නම් මුදාහරින බව අඟවමින් WhatsApp හරහා ව්‍යාජ පොලිස් නිල ලාංඡන, ලියකියවිලි සහ නිලධාරීන්ගේ ඡායාරූප යොමු කිරීම.

'Verification' සඳහා අවහිර (Freeze) වූ ගිණුම් නිදහස් කිරීමට යැයි පවසමින් බැංකු ගිණුම්වලට ලොග් වීමට OTP අංක ලබාගැනීම, වෙනත් ගිණුම්වලට මුදල් මාරු කරවා ගැනීම හෝ USDT වැනි ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) හරහා මුදල් ගෙවන ලෙස බලපෑම් කිරීම ඔවුන් විසින් සිදුකරන බව වාර්තා වනවා.

එබැවින් මහජනතාවගේ ආරක්ෂාව සඳහා එවැනි තොරතුරු ලබාදීමෙන් වළකින්න ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුම් හෝ WhatsApp හරහා ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, CVV අංකය, මුරපද හෝ OTP අංක ඉල්ලා නොසිටින අතර එවැනි තොරතුරු ඉල්ලන ඇමතුම් වංචනික බව තේරුම් ගත යුතුයි.

ගිණුම් අවහිර කරන බවට හෝ නඩු පවරන බවට පවසන තර්ජනවලට බිය වී වෙනත් ගිණුම්වලට මුදල් මාරු කිරීමෙන් වළකින්නැයිද යම් සැකයක් ඇත්නම් අදාළ බැංකුවේ හෝ ආයතනයේ නිල දුරකථන අංකය ඔස්සේ කතා කර තොරතුරු තහවුරු කරගන්නා ලෙස පොලිසිය දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිවිටෙකත් පෞද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර, බැංකු ගිණුම් අංක ලබා දී මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටින්නේ ද නැහැ.

එමෙන්ම නිල දැනුම්දීම් ලිඛිතව යොමු කෙරෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් පැමිණෙනු ඇති.

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා එවැනි ව්‍යාජ ලියකියවිලි ලදහොත් වහාම ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලසයි පොලිසිය දැනුම් දෙන්නේ.

නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සබැඳි (Links) මගින් පළ කරනු ලබන අන්තර්ජාල දිනුම් සහ සැකකටයුතු යොමු භාවිතයෙන් වළකින ලෙසද දැනුම් දෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය කිරීමක් සිදු නොකරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා.

එබැවින්, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හෝ විමර්ශන සඳහා යැයි පවසමින් මුදල් ලබාගැනීමට උත්සාහ කරන වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් පහත දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ: 071 - 8592918

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්: 071 - 8591765

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (කාර්යාලය): 011 - 2300756

මේ අතර මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලිඛිතව පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes