General23 July 2026

ගල්ෆ්හි CIA මධ්‍යස්ථානවලට එල්ල වූ ඉරාන ප්‍රහාර පිටුපස රුසියාව සිටීද? - අමෙරිකාවෙන් පරීක්ෂණ

ගල්ෆ් කලාපයේ පිහිටි සී.අයි.ඒ. (CIA) ආයතන වෙත එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර සඳහා රුසියාව විසින් ඉලක්කගත තොරතුරු හෝ උසස් ඩ්‍රෝන තාක්ෂණය ලබා දෙමින් සහාය වී ඇත්දැයි ඇමරිකානු බුද්ධි විශ්ලේෂකයින් පරීක්ෂණ පවත්වන බව ඇමරිකානු බුද්ධි අංශ පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයින් සිව්දෙනෙකු පවසා සිටි බව විදෙස් මාධ්‍ය පවසනවා.

CIA ආයතන වෙත එල්ල වූ ප්‍රහාර සඳහා රුසියාවේ ඇති සම්බන්ධය ගැන ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, ප්‍රහාරවල සාර්ථකත්වය සහ නිවැරදි ඉලක්කගත බව මෙන්ම, රුසියාව විසින් ඉරානයට ලබා දෙන පුළුල් තාක්ෂණික සහාය ද මේ සඳහා විය හැකි සාක්ෂි ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ.

ගල්ෆ් කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර සඳහා රුසියාව ඉලක්කගත තොරතුරු ඇතුළු අනෙකුත් සහාය ලබා දී ඇති බව රොයිටර් පුවත් සේවය ඇතුළු මාධ්‍ය වාර්තා කර ඇති අතර ඇමරිකානු නිලධාරීන් ද ඒ බව පිළිගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී අවම වශයෙන් CIA මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වූ බව රොයිටර් ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන් එක් මධ්‍යස්ථානයක් වූයේ රියාද් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය තුළ පිහිටි CIA ප්‍රධාන කාර්යාලයයි.

අනෙක් ස්ථානය නැගෙනහිර ඉරාකයේ පිහිටා තිබුණා.

තවත් CIA ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වූ බව සමහර මූලාශ්‍ර පැවසුවද, ඒ පිළිබඳ විස්තර අනාවරණය කළේ නැහැ.

රියාද් හි තානාපති කාර්යාල ප්‍රහාරය සඳහා රුසියානු තාක්ෂණයෙන් වැඩිදියුණු කරන ලද ඉරානයේ 'ෂාහෙඩ්' (Shahed) ඩ්‍රෝන යානා දෙකක් භාවිතා කර ඇති බව විශ්ලේෂකයින් විශ්වාස කරන බව බුද්ධි වාර්තා පිළිබඳව දැනුවත් කරන ලද ගල්ෆ් කලාපයේ බටහිර නිලධාරීන් දෙදෙනෙකු පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් එක් යානයක් තානාපති කාර්යාලයේ අාරක්ෂාව අඩු බාහිර කොටසකට පහරදී සිදුරක් සාදා ඇති අතර, දෙවන යානය එම සිදුර තුළින් ඇතුළට පියාසර කර පිපිරී ගොස් ඇති බව ඔවුන් පවසා සිටියා.

ජෝර්දානයේ පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර හමුදා භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, රුසියාව විසින් ඉරානයට ඉලක්කගත දත්ත ලබා දෙන බවට වූ සැකය මෙම සති අන්තයේ තවත් තීව්‍ර වුණා.

Related recommendation
Hiru TV News | Programmes