General24 July 2026

ඉන්දියාවෙන් යළි සාර්ථක මිසයිල අත්හදා බැලීමක්

ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද 'කුෂා' (Kusha) නමැති දීර්ඝ පරාසැති ගුවනින් ගුවනට විදින මිසයිල පද්ධතියේ ප්‍රථම පරීක්ෂණ පියාසැරිය සාර්ථකව සිදු කළ බව ඉන්දීය බලධාරීන් පවසනවා.

නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි ඩොක්ටර් ඒ.පී.ජේ. අබ්දුල් කලාම් දූපතේදී ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් මෙම අත්හදා බැලීම සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සඳහන් කළේ, විශාල පරාසයක් සහ උස ප්‍රමාණයක් ආවරණය කරමින් සතුරු ප්‍රහාරක ජෙට් යානා, මිසයිල, ඩ්‍රෝන යානා සහ විශාල ප්‍රමාණයේ ගුවන් යානා ඇතුළු විවිධ මාදිලියේ ගුවන් තර්ජන විනාශ කිරීමේ හැකියාව 'කුෂා' මිසයිල පද්ධතිය සතු බවයි.

මෙම සාර්ථක පරීක්ෂණ පියාසැරිය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, මෙවැනි දීර්ඝ පරාසැති ගුවනින් ගුවනට විදින මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීමේ තාක්ෂණික හැකියාව හිමිව ඇත්තේ ලොව රටවල් කිහිපයකට පමණක් බවත් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම, මෙම තාක්ෂණික දියුණුවත් සමඟ මෙවැනි අවි ආයුධ පද්ධති සඳහා විදේශයන් මත පැවැති රැඳියාව අවසන් වන අතර, එය රටේ ගුවන් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබල ඉදිරි පිම්මක් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes