General28 July 2026

ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ

පසුගිය දිනවල රටපුරා දැඩි කතාබහකට ලක්වූ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ හය වන පේලි පෙරහර කාවඩි නර්තන කණ්ඩායම් 33 ක සහභාගීත්වයෙන් අද (28) පස්වරුවේ ආරම්භ වුණා.

පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1,500කට අධික ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ පෙරහර ආරම්භවීමට පෙර සිටම සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිබාලේ මල්ලි නමැත්තාගේ හඬපට කිහිපයක් නිකුත් වීම හේතුවෙන් සමාජයේ ඒ පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.

මෙවර පෙරහරේ කාවඩි නර්තන අංගය තාවකාලිකව අවලංගු කරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී තිබූ නමුත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡවකදී තීරණය වූයේ දෙවිනුවර ඇසළ පෙරහරේ කාවඩි නර්තනය සඳහා අවසර දීමටයි.

ඒ අනුව දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර අද ආරම්භ වූයේ ඩ්‍රෝන මෙහෙයුම් ඒකකවල ද දැඩි ආරක්ෂාවක් යටතේයි.

මෙවර පෙරහර සඳහා කාවඩි නර්තන කණ්ඩායම් 33 ක් සහභාගී වී තිබෙන අතර එම සියලු කණ්ඩායම් පෙරහරට පෙර විශේෂ ශරීර පරීක්ෂාවකට ද ලක්කෙරුණා.

එම පරීක්ෂා කිරීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු හමූ වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
Related recommendation
Hiru TV News | Programmes