General04 August 2026

දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන

දෙහිවල කඩවත පාරේ දහනායක ක්‍රීඩාංගනය අසලදී බේකරි හිමිකරුවෙකු ඉලක්ක කර අද (04) රාත්‍රීයේ වෙඩි තැබීමට කළ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් පවසන පරිදි, රාත්‍රී 8.10 ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙකු මෙම ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත්, වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවී යාම හේතුවෙන් බේකරි හිමිකරු වහාම ක්‍රියාත්මක වී වෙඩික්කරු සමඟ පොරබැඳ ගිනි අවිය සිය භාරයට ගැනීමට සමත්ව තිබෙන අතර මෙම පොරබැඳීම අතරතුර බේකරි හිමිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.

මෙම සිදුවීම පිටුපස පවතින පසුබිම අනාවරණය කරමින් පොලිසිය සඳහන් කරන්නේ, සිද්ධියට ඉලක්ක වූ බේකරි හිමිකරුගේ පුත්‍රයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "කොස් මල්ලි" නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවත්, ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින බවයි.

මූලික විමර්ශනවලට අනුව මෙම වෙඩි තැබීමට පැමිණ ඇත්තේ "සැන්ඩෝගේ පාර්ශවය" හෝ "බඩෝවිට අසංක පාර්ශවය" යන පාර්ශ්වයකට අයත් පිරිසක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.

පලා ගිය වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes