General08 August 2026

දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය අද (08) ප්‍රකාශ කළා.

ඒ, අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ද ප්‍රකාශ කළේ, අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් තමන්ට පැවසූ බවයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 67 දක්වා වැඩි කර තිබුණා.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමටයි යෝජිත වී ඇත්තේ.

අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 හෝ ධුරය දරණ කාලය අවුරුදු 06 ක් සම්පූර්ණ වන දිනය හෝ එම දින දෙකෙන්, කළින් එළඹෙන දිනය ලෙස සලකන බව කෙටුම්පතේ දක්වා තිබෙනවා.

මීට අමතරව, අභියාචනාධිකරණය සඳහා පත්කළ හැකි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් පනත් කෙටුම්පත මගින් යෝජිත වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මල්වතු මහ නා හිමියන් දැනුවත් කිරීම සඳහා දිනන දකුණ සාමූහිකය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ඇතුළු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් පැමිණියා.
Related recommendation
Hiru TV News | Programmes