International14 August 2026

අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්

අමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජෝන් එෆ්. කෙනඩි ප්‍රසංග කලා මධ්‍යස්ථානයේ නමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම එක් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩලය පැවැත්වූ රැස්වීමකදී, ගොඩනැගිල්ලේ ඉදිරිපස නාම පුවරුවට “President Donald J. Trump” යන නම ඇතුළත් කිරීමට ඡන්දය ප්‍රකාශ කළ බව ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් මන්ත්‍රීවරියක වන ජොයිස් බීටි සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම තීරණය අනුව, මධ්‍යස්ථානයේ භෞතික පරිශ්‍රය “President Donald J. Trump Plaza” ලෙස නම් කිරීමටද යෝජනා වී ඇති බව සඳහන්.

ට්‍රම්ප් පත් කළ සාමාජිකයන් බහුතරයක් සිටින අධ්‍යක්ෂ මණ්ඩලය, කෙනඩි මධ්‍යස්ථානය වසර දෙකක කාලයක් සඳහා වසා දමා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටද තීරණය කර ඇති බව බීටි ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම නාම වෙනස් කිරීම නීතිමය අර්බුදයකට මුහුණ දී ඇති අතර, මීට පෙර ෆෙඩරල් විනිසුරු ක්‍රිස්ටෝෆර් කූපර් නියෝග කර තිබුණේ, කොංග්‍රසයේ නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව කෙනඩි මධ්‍යස්ථානයේ නම වෙනස් කළ නොහැකි බවයි.

ට්‍රම්ප්ගේ නම මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලෙසද එම අධිකරණ තීන්දුව මගින් නියෝග කර තිබූ අතර, සේවකයන් විසින් පසුගිය ජුනි මාසයේදී ට්‍රම්ප්ගේ නම ඉවත් කර තිබුණා.

විනිසුරු කූපර් පෙන්වා දී ඇත්තේ, කෙනඩි මධ්‍යස්ථානය ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ නමින් නම් කර ඇති බව එහි ස්ථාපිත නීතියෙන් පැහැදිලි වන බැවින්, අධ්‍යක්ෂ මණ්ඩලයට තනි තීරණයකින් එහි නිල නාමය වෙනස් කළ නොහැකි බවයි.

මේ අතර, ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම මධ්‍යස්ථානයේ අරමුදල් රැස්කිරීමේ හැකියාවට හා මූල්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් ඇති කරන බව ට්‍රම්ප් පාලනය තර්ක කර තිබෙනවා.

එහෙත් එම කරුණු තහවුරු කිරීමට ප්‍රමාණවත් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව අභියාචනාධිකරණය පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නව තීරණයත් සමග කෙනඩි මධ්‍යස්ථානයේ නම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධිකරණය අතර නව නීතිමය ගැටුමක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes