General19 August 2026

'ගල්කටස්' ගිනිඅවියක් සමග තරුණයෙක් මාට්ටු

බෝර 12 පතුරම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත 'ගල්කටස්' වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි 18 හැවිරිදි තරුණයෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

අම්බලන්තොට පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අම්බලන්තොට, කරඹගල්මුල්ල සෆාරි උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී සැකකටයුතු ලෙස හැසිරුණු මෙම තරුණයා පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ගිනිඅවියක ඡායාරූපයක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුව සූරියවැව, වෙනිවැල්ආර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ අල්මාරියක සඟවා තිබූ අදාල ගිනිඅවිය පොලිස් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා සූරියවැව, වෙනිවැල්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මෙම ගිනිඅවිය ලබාගත් ආකාරය සහ එය ළඟ තබා ගැනීමට හේතුව සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes