General20 August 2026

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය නුගේගොඩ නාවල පාරේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

ඇගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes