International21 August 2026

ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී කුලී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 8 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කළේ, Cessna 441 වර්ගයේ මෙම ගුවන් යානය ඇන්කරේජ් නගරයෙන් ගමන් ආරම්භ කර කේප් නිව්එන්හැම් වෙත යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි.

අනතුර සිදුව ඇත්තේ බ්‍රහස්පතින්දා දහවල් 12.15ට පමණ එහි ගමනාන්තයට ආසන්නයේදී බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.

එම ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු සිට ඇති බව ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ (NTSB) ඇලස්කා කලාප ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඇලස්කා හමුදා බලධාරීන් සඳහන් කර ඇත්තේ, එය පුද්ගලයින් 8 දෙනෙකු රැගෙන ගිය සිවිල් කොන්ත්‍රාත් ගුවන් ගමනක් බවයි.

අනතුරට ලක්වූ යානය කේප් නිව්එන්හැම් ගුවන් තොටුපළ ආසන්නයේදී කඩා වැටී ඇති අතර, එම ප්‍රදේශය දිගු දුර රේඩාර් මධ්‍යස්ථානයකට ප්‍රවේශය සපයන ගුවන් හමුදා ගුවන් පථයක් ලෙස භාවිත කරන බව සඳහන්.

සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් යානයේ සිටි කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බව පසුව තහවුරු කර තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, FAA සහ NTSB විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී ප්‍රධාන විමර්ශන ආයතනය ලෙස NTSB කටයුතු කරන බව FAA සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes