General24 August 2026

බත්තලන්ගුණ්ඩුවේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු සහ එනසාල් පොතු තොගයක් කල්පිටිය, බත්තලන්ගුණ්ඩුව, සින්නගුණ්ඩුව වෙරළ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මේවා අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් අදාල වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම සෝදිසියේදී, එහි තිබූ සැකකටයුතු උර දහතුනක් (13) පරීක්‍ෂාවට ලක් කර තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

එහිදී, එම උර තුළ තිබී වියළි ඉඟුරු කිලෝග්‍රෑම් දෙසීය හැට හතරක (264) සහ එනසාල් පොතු කිලෝග්‍රෑම් හැට නවයක (69) තොගයක් මෙලෙස සොයාගෙන තිබුණා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී කුළුබඩු තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes