General27 August 2026

නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු නුවරඑළිය, ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තයට යොදා ගන්නා සතුන්ට කිසිදු අයුරකින් හිංසා නොවන බවට බලධාරීන් වහාම තහවුරු කළ යුතු බවයි.

එමෙන්ම, බලපත්‍ර යටතේ නීත්‍යානුකූලව මෙම සේවාව සපයන පෝනි පදවන්නන් ද සිදුවීමට දැඩි විරෝධය පළ කර සිටින අතර, පුද්ගලයෙකුගේ හිංසාකාරී ක්‍රියාවක් හේතුවෙන් මුළු පෝනි පදවන්නන්ගේම වෘත්තීය ප්‍රතිරූපයට හානි සිදුවීම අසාධාරණ බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව, බලපත්‍රලාභී සියලු පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් නියාමනය කෙරෙන පැහැදිලි ප්‍රමිතියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes