General28 August 2026

අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්

තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, චෛත්‍යරාජයාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ මහා විහාරයේ පැවැති සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා එක්වෙමින්.

අප රටට අවශ්‍ය ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවන බවත් බොහෝ අය දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීමට ආගම යොදා ගන්නා බවත් බුදුසසුනට අවශ්‍ය එවැනි බෞද්ධකමක් නොව ආගම දහම සුරක්ෂා කරන බෞද්ධයන් බවත් කැමරාවට, සමාජ මාධ්‍යයට පමණක් සීමා වූ බෞද්ධකමකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා නොවන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

එමෙන්ම, සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ පවා සඳහන් බවත් බුද්ධශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කර සම්බුදු සසුන ප්‍රවර්ධනය කරමින් ආගම දහම ආරක්ෂා කර ගත යුතු බවත් ඊට අමතරව අප රට තුළ සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා වන ආකාරයට ද මේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ලක්ෂ 220 එකට එකතු විය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය වසර 7 තුළ ඛේදවාචක 5කට මුහුණු දුන් අප දැන් එල්නීනො ලානීනා තත්ත්වය තුළ බරපතල දේශගුණික කාලගුණික විපර්යාස සිදුවිය හැකි බව සහ එය පසුගිය දිනක නේපාලයේ සිදුවූ දේ හොඳම උදාහරණය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

දැන් රටේ එක් පැත්තක නියඟයක් ඇති ව තිබෙන බවත් එය වගා හානි සේම ආහාර සුරක්ෂිතභාවය යන ගැටලුව ද අලි මිනිස් ගැටුම ආදී ප්‍රශ්න රැසක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes