International29 August 2026

නේපාලය යළි ගොඩගන්න ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යයි: එරට මුදල් ඇමති

නේපාලයේ ඇති වූ ගංවතුරෙන් පසු එම ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඔවුන්ට ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය බව එරට මුදල් අමාත්‍ය ස්වර්නිම් වග්ල් ප්‍රකාශ කරනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මෙය ඇස්තමේන්තුවක් පමණක් බවත්, පාඩු හා හානි තවදුරටත් තක්සේරු කරමින් පවතින බවයි.

මේ අතර, නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 3,700කට වැඩි පිරිසක් මුදාගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එසේම හිමාල කඳුකරයේ පිහිටි ග්ලැසියර කඩා වැටී නිම්න ප්‍රදේශවලට දැවැන්ත ගංවතුර හටගැනීමේ අවදානම තවමත් පවතින බවට භූ විද්‍යා අංශ විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එලෙස වේල්ලක් බිඳී යාම හේතුවෙන් නේපාලයේ ත්‍රිෂුලි ගංගා නිම්නය ආශ්‍රිතව අලුතින් ගංවතුර බියක් මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය වාර්තා කළේ, ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයත් සමග ඊයේ උදෑසන වන විට මතු වූ බාධක විලෙහි ජලය ඝන මීටර් මිලියන 2.5ක් පමණ එක්රැස්ව ඇති බවයි.

එම තත්ත්වය හේතුවෙන් විලේ බාධක බැම්ම බිඳී යාමේ "ඉහළ අවදානමක්" පවතින බවට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම නේපාලයේ නුවකොට් සහ රසුවා දිස්ත්‍රික්කවල අවම වශයෙන් 20,000කට පමණ ආහාර ආධාර අවශ්‍ය විය හැකි බවත්, 50,000කට වැඩි පිරිසකට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය බවත් ඒ සඳහා තමන්ගේ සහය අඛණ්ඩව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ළමුන් 17,000ක් පමණද, ගර්භණී සහ කිරි දෙන මව්වරුන් 1,500ක් සහ යොවුන් වියේ පසුවන්නන් 9,000ක් සඳහා පෝෂණ ආධාර අවශ්‍යව ඇති බව ද සඳහන්.



Related recommendation
Hiru TV News | Programmes