General02 September 2026

22 ගැන පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් අද

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද (02) යළි ආරම්භ වීමට නියමිතයි.

මුල්වරට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ කෙරුණු අතර, පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම රාත්‍රි 10.30ට පමණ අවසන් කෙරුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අද යළි පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම අද දිනයේ අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිතයි.

මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරන අතර, එහි සෙසු විනිසුරුවරුන් වන්නේ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංගයි.

මේ අතර 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා කියා සිටියේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කරන බවයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ මෙම කෙටුම්පත ජනමත විචාරණයක් තුළින් සම්මත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes