General02 September 2026

ජුනි අවසන් වන විට මෙරට සමස්ත ණය ඩොලර් බිලියන 97 පනී

මෙම වසරේ ජූනි මස අවසන් වන විට මෙරට සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 97,952ක් හෙවත් රුපියල් බිලියන 32,977ක් වන බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ දෙවන කාර්තුව වන විට රජයේ මුළු ණය සේවා ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 2,700කට ආසන්න වන බවයි.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ, 2026 වසරේ ජූනි මස 30 වැනි දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 97,952ක් හෙවත් රුපියල් බිලියන 32,977ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

මේ අතරින් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 95,047ක් වන අතර, එහි දේශීය ණය ගැනීම් ඩොලර් මිලියන 57,039ක් සහ විදේශීය ණය ඩොලර් මිලියන 38,008ක් ඇතුළත්.

2026 ජුනි මස අවසානය වන විට මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 38,008 දක්වා ළඟා වූ අතර, ඊට බහුපාර්ශ්වික ණය අමෙරිකානු ඩොලර් මිලියන 14,801.6ක්, වාණිජ ණය අමෙරිකානු ඩොලර් මිලියන 12,409.1ක් සහ ද්විපාර්ශ්වික ණය අමෙරිකානු ඩොලර් මිලියන 10,797.1ක් ඇතුළත්.

බහුපාර්ශ්වික ණය එකතුව, අමෙරිකානු ඩොලර් මිලියන 14,801.6ක් වන අතර, ඒ යටතේ ආසියානු සංවර්ධන බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 6,885.1ක්, ලෝක බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 4,666.2ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමෙරිකානු ඩොලර් මිලියන 2,615.2ක් වනවා.
Related recommendation
Hiru TV News | Programmes