General06 September 2026

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සමඟ යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුදු කූඩැල්ලන් 673 ක් සහ ධීවර ආම්පන්න ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබු බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය මඟින් යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී, නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් මඟින් එකතු කර ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 51 ත් 56 ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes