International10 September 2026

පාකිස්තානයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර පාලනය කරන ලෙස ඉරානයට පාකිස්තානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සෞදි, පාකිස්තාන සහ ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

හූති සටන්කාමීන් පසුගියදා සෞදි අරාබියේ Khamis Mushait ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සහ ඒ ආසන්න නගරවල පිහිටි තෙල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පසුගිය පැය 12 තුළ සෞදි ගුවන් හමුදාව යේමනයේ විවිධ පළාත්වලට ගුවන් ප්‍රහාර 54ක් එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක Yahya Saree සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරවලට "පිළිතුරු නොදී සිටින්නේ නැහැ" යනුවෙන් ඔහු අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය මැද පාකිස්තානයේ අනතුරු ඇඟවීම විශේෂ වැදගත්කමක් ගන්නේ සෞදි අරාබිය සහ තුර්කිය සමග පාකිස්තානයට පවතින ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් බව සඳහන්.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif සඳහන් කර ඇත්තේ, සෞදි භූමියට එල්ල වන ප්‍රහාරයක් සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය සම්බන්ධ කරගත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට හේතු විය හැකි බවයි.

කෙසේ වෙතත්, පාකිස්තාන බලධාරීන් අවධාරණය කර ඇත්තේ, කිසියම් හමුදාමය මැදිහත්වීමක් සිදුවුවහොත් එය සෞදි භූමිය ආරක්ෂා කිරීම සඳහා පමණක් සීමා වනු ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes