General23 September 2026

පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සුවිශේෂී තැන්.....

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (22) ප්‍රකාශයට පත් කළා.

ඒ, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් ඉදිරියේදීයි.

තින්දුව කියවා දීම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් සිදු කරනු ලැබූ අතර, එහි දමිළ භාෂණ පරිවර්තනයක් මහාධිකරණ භාෂා පරිවර්තකයෙකු විසින් විවෘත අධිකරණයේදී කියවා දුන්නා.

සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන් අට දෙනකුට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23270ක් මෙහි පළමු චුදිත නවෆර් මවුලවී ඇතුළු චුදිතයින් 24 දෙනාට චෝදනා ගොනු කර තිබෙන බව එම තින්දුව කියවා දෙමින් විනිසුරුවරයා අධිකරණයට දන්වා සිටියා.

ආරම්භයේ දී චුදිතයින් 25ක් සිටියද 17 වන චුදිත මියයාම හේතු කොට ගෙන එම චෝදනාව ඉවත් කළ බව එම තීන්දුවෙන් පැවසුනා.

මෙය ඉතා විශාල නඩු තීන්දුවක් බැවින් වචනයෙන් වචන ප්‍රකාශ කිරීම අපහසු බවත් චෝදනා 23370ක් සහ එහි වෙලුම් 9කින් යුත් අධි චෝදනා ගොනු කර ඇති බවත් විනිසුරුවරයා අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම චුදිතයින්ට අධි චෝදනා එකම අවස්ථාවේදි විවෘත අධිකරණයේදී පැහැදිලි කර දුන් බවද විනිසුරුවරයා දන්වා සිටියා.

2019/4/21 වන දින කොච්චිකඩේ ඇන්තෝනි දේවස්ථානය, කටුවපිටිය, මඩකලපුව ඇතුළු දේවස්ථාන තුනක ස්වයං ඝාතකයන් විසින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා කුඩා දරුවන් ඇතුළු විශාල ගණනක‍ගේ ජීවිත විනාශ කර තුවාලයට ලක් කිරීම, එදිනම එම වේලාවන් තුළ ම ප්‍රධාන පෙළේ හෝටල් තුනකට ගොස් ස්වයං ඝාතකයන් විසින් බෝම්බ පුපුරවා 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීම සහ පනස් හතර දෙනකු තුවාල වීමද සිදුවූ බව විනිසුරුවරයා සිය තීන්දුව කියවා දෙමින් පවසා සිටියා.

තවද දෙහිවල පිහිටි නිව් ට්‍රොපිකල් ඉන් නවාතැන් ආයතන අසල ස්වංඝාතකයෙක් විසින් බෝම්බ පුපුරවා හැරීමෙන් එහි සිටි ගැහැණු අයෙක් සහ පිරිමි අයෙක් ජීවිතක්ෂයට පත්වූ බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණා.

මෙම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන විමර්ශන ඒකකය විමර්ශන පවත්වා උදෘත අධ්‍යයනය කර නීතිපති වෙත යැවීමෙන් පසු කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ බවද තීන්දුවේ සඳහන්ව තිබුණා.

අධි චෝදනා 23270 සැලකිල්ලකට ගෙනගෙන එය චූදිතයන්ට වටහා දීමට හැකිවන පරිදි භාෂා පරිවර්තකයන් හරහා අධිකරණයේ පැහැදිලි කර දුන් බවද තීන්දුවේ සඳහන්වුණා.

මෙම සිද්ධියට අදාළ 17 ත් වන සැකකරු නඩු විභාගය සිදුවීමේදී ස්වභාවික බන්ධනාගාරය තුළ මිය යෑම නිසා නැවත අධි චෝදනා ගොනු කරබවද තීන්දුවේ සඳහන්ව තිබුණා.

ඉන්පසු සිද්ධියට අදාල තීන්දුව කියවා දෙමින් විනිසුරු නවරත්න මාරසිංහ මෙලෙස අධිකරණයට දැනුම් දුන්නා.

"2019 අප්‍රේල් 21 කොච්චිකඩේ ශාන්ත ඇන්තෝනි දේවාලය, කටුවාපිටිය, මඩකලපුව සිවොන් දේවාලය ඇතුළු ප්‍රධාන පෙළේ හෝ තුනකට සහ දෙහිවල නිව් ට්‍රොෆිකල් ඉන් නවාතැන්පොල අසල සිදු වු ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාරවලට අධාර සහ අනුබල දීම චෝදනා යටතේ විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම නඩු විභාගය පැවැත්වූ අතර මෙම සිද්ධියට අදාලව බොහෝ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ස්වයං ඝාතකයන් පැමිණෙන ආකාරය සියැසින් දුටු පුද්ගලයන් පවා එහිදී සාක්ෂි ලබාදී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්දන ඒකකය පොලීසිය ආදී නිල සාක්ෂිකරුවන් විශාල ප්‍රමාණයක් මෙම සිද්ධියට අදාලව සාක්ෂි ලබා දෙනු ලැබුවා.

තවද විශේෂඥ සාක්ෂි ලෙස පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ කරන නිලධාරීන් සහ ආණ්ඩුවේ රස පරීක්ෂකවරුන්, වෝහාරික දත්ත පරීක්‍ෂකවරුන් වෛද්‍යවරුන් යන පිරිසගෙන් සාක්ෂි ලබා ගත්තා.

ඇතැම් ලේඛන පරිවර්තනය කිරීමට අපහසු අවස්ථාවලදී රජයේ භාෂා පරිවර්තන නිලධාරීන්ගෙන් ද සාක්ෂි ලබා ගත්තා.

තවද මෙම සිද්ධියට අදාල වින්දිත තැනැත්තන් විශාල ප්‍රමාණයක් අධිකරණයේදී සාක්ෂි ලබාදීම සිදුකලා. නඩු විභාගය බෞද්ධාලෝක මාවතට ගෙනයාමත් සමග එම වින්දිතයන්ට එහි පැමිණි සාක්ෂි ලබාදීමට ඇතිවූ දුර්වලතා නිසා සූම් තාක්ෂණය ඔස්සේ කටුවාපිටිය දේවස්ථානයට එම වින්දිතයන් පැමිණ අධිකරණයට සාක්ෂි ලබා දෙනු ලැබුවා.

සිද්ධියට අදාලව සාක්ෂිකරුවන් 200කට වඩා සාක්ෂි මෙහෙයවීමෙන් පසුව පිළිගැනීම් වාර්තා කළා.

මෙම සිද්ධියට අදාල පළවෙනි චූදිත වන නව්සර් මවුල මවුලවි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 (1) වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. 4 වන චූදිත , 9 වන වුදිත සහ 11 වැනි චූදිතයින් ද මෙලෙස ප්‍රකාශ ලබා දී තිබෙනවා.

තවද අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 127 වගන්ති ප්‍රකාරව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ‍ ලබා දී තිබෙනවා. පස්වන චූදිත මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.

තවද පුහුණු වැඩමුළු කළ ස්ථාන, ආරක්ෂිත නිවාස සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළා. වැඩිමුළු පැවැත්වීම සහ අවි ආයුධ තිබූ ස්ථාන පරීක්ෂා කළා. ඒ අනුව 1,2,3,4,5,6,7,9,10,11,18 යන චෝදිතයන් 2019 අප්‍රේල් 21 ෂැංගිලා හොටෙලයේ ස්වයං ඝාතක බෝම්බකරු සමග විවිධ පළාත්වල ජීවත් වෙමින් සම්බන්ධතා පවත්වා තිබෙනවා.

ඇතැම් ස්ථානවල පුපුරණ ද්‍රව්‍ය සහිත ස්ථාන පවා තිබිලා ඒවා සඟවා තිබෙනවා.

4 හා 5 වැනි චූදිතයින් එවැනි දේශන පවත්වන වැඩ මුළුවලට සහභාගි වෙලා තිබෙනවා. 9 චුදිත සහජීවනය යනුවෙන් වැඩසටහන් පවත්වා තිබෙනවා.

එවැනි දේශන නුවර දිගන මඩකලපුව ආදී ප්‍රදේශවල පවත්වා තිබෙනවා. තවද දෙවන දේශනාවක් පවත්වා තිබෙනවා. 1,4,9 චූදිතයන් විසින් තමයි ඒවා පවත්වා තිබෙන්නේ. එහි අවි ආයුධ පුහුණු කිරීම් කර තිබෙනවා. කටුවාපිටිය බෝම්බය පුපුරාගත් ස්වයං ඝාතකයා ද මෙම පුහුණුවට ගොස් තිබෙනවා.

"මුස්ලිම් රටක් නොවන රටක ජීවත් වෙන්න අපට බැහැ. රටක් කිරීමට අපි සටන් කළ යුතුයි. යුද්ධයක් කළ යුතුයි" යනුවෙන් මතවාද තරුණ මුස්ලිම් පුද්ගලයන් අතර පතුරවා තිබෙනවා.

සයින්දමරුදු ප්‍රදේශවල පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබු බවත් පානදුර, කටුවාපිටිය ප්‍රදේශවල පුපුරණ රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ බවත් සඳහන්.

විසි එක්වැනි දා සිදුවූ පාසකු ප්‍රහාර සිද්ධියෙන් පසු කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී සොයා ගන්නා ලද යුරියන් නයිට්‍රික් ලෝහ බෝල උපකරණවලට සමාන රසායනික ද්‍රව්‍ය එම ප්‍රදේශවලින් සොයාගෙන තියෙනවා.

2019 අප්‍රේල් 21 වන දින පානදුර හා කටුවාපිටිය හා සයින්දමරුදු යන ප්‍රදේශවලට මෙම නඩුවේ හයවන චූදිත අරන් ගිහින් තියෙනවා. ඒ අනුව මෙම කණ්ඩායම අතර තිබූ ආරක්ෂිතභාවය මනාව පැහැදිලි වනවා.

තවද කිංග්ස්බරි හෝටලය පුපුරවාගත් ස්වයං ඝාතකයා ද පළමුවැනි චූදිත සහ නව වන චූදිත ඊට පෙර දින එකම නිවසේ සිට මුණ ගැසී දැනුම් දීමකින් තොරව පිට ගොස් ඇති බවයි සඳහන් කර තිබුණේ.

ඒ අනුව ඔවුන්ගේ සම්බන්ධතාවය මනාව පැහැදිලි වනවා.

ආරක්ෂිත නිවාස තුළ 1,2,3,4,5,6,7,9,10,11,18 චූදිතයන් විසින් පුපුරවා ගත් බෝම්බකරුවන් සමඟ යම් අපරාධයක් කිරීමට එහි නැවතී සිටි බවට පෙනී යනවා.
අන්තවාදී දේශන කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් පැහැදිලි වන්නේ ආගමික දුර්මත ඇති කිරීම, ජාතිවාදී එදිරිවාදී ඇති කිරීමට මෙම චූදිතයන් ක්‍රියා කර ඇති ආකාරයයි.
තවද 4 වන චූදිත 7 චූදිත යතුරුපැදියක් දියේ ගිල්වා ඇති බවත් 8 සහ 18 චුදිතයින් සන්තකයේ තිබි පුපුරෙන් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවත් හෙළි වුණා.
මෙම සිද්ධියේදී පොදු සාක්ෂිකරුවන් තුන්දෙනෙක් භාවිතා කළා.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති වැඩමුළුවකට සහභාගි වූ අයෙක් මෙම සිද්ධියට අදාලව සාක්ෂි ලබාදී තිබෙනවා. එම වැඩසටහනේදී සහරාන් බෝම්බ පුරවා ගන්නා ආකාරය සහ දිවි හානි කරගන්නා ආකාරය වශයෙන් කොටස් දෙකකට දේශන පවත්වා තිබෙනවා.

තවුද මෙම වැඩසටහන සහභාගී වන පුද්ගලයන්ට අන්වර්ථ නාම භාවිතා කර ඇති බව සාක්ෂිකරු පවසා සිටියා.

ඒ අනුව මෙහි සඳහන් බොහෝ චූදිතයන්ට ‘අබු’ යන කොටස දක්නට ලැබෙනවා.

එහිදී පළවෙනි චූදිත වන නවුෆර් මවුලවි එහිදී දීර්ඝ දේශනයක් ගැඹුරින් කළ බවත් එහිදී ආගමක සංකල්ප ඉදිරිපත් කළ බවත් " අල්කිතාල්" නමැති යුද සංකල්පය ඉගැන්වූ බවත් එම සාක්ෂිකරු සාක්ෂි ලබාදී තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව ඇතැම් විත්තිකරුවන්ගේ නීතිඥවරුන් නඩු කටයුතුවලින් ඉවත් වෙලා තියෙනවා.

තවද මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබා දුන් තවත් සාක්ෂිකරුවකු වන ජවුෆර් සාදික් නමැත්තා ද පවසා සිටියේ දෙල්ගහගොඩ ප්‍රදේශයක දේවාලයක පැවති වැඩමුළුවකට සහභාගි වූ බවත් එහිදී හතර සහ නව වන වුදිතයින් එම වැඩමුළු මෙහෙයවා තිබූ බවයි.

තවද තුර්කි රාජ්‍යයට යෑමට අවස්ථාවක් ලබා දුන් බවද අහමඩ් මුස්ෆික් නමැත්තා සාක්ෂි ලබාදෙමින් පවසා තිබෙනවා.

මෙම ජවුෆර් සාදික් කියන්නේ සහරාන්ලා සමඟ ද්වේශ සහගතව වැඩ කළ අය නොවේ. ඒ බව මෙම අධිකරණයට සාක්ෂි ලබාදීමට පැමිණි පසු චූදිතයන් මෙම සැකකරුට කතා කළේ ‘මල්ලි’ යනුවෙන්.

14 වන චුදිත කාන්තාවන් සම්බන්ධයෙන් වැඩමුළු පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් සාදික් සාක්ෂි ලබා දී තිබෙනවා.

සිද්ධියට අදාල විත්තිය ප්‍රබල ලෙස ලිඛිත දේශණ ලබා දී තිබුණද පැමිණිල්ල විසින් එය හබ කිරීමක් කර තිබෙනවා.

සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙන පෙන් ඩ්‍රයිව්වල ඇතුළත් දත්ත පරිදි ඉම්සාඩ් නමැති ස්වයං ඝාතකයා ‘ටු ෆැමිලි’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විවිධ වූ කරුණු දක්වා තිබෙනවා.

එහි සඳහන් පරිදි සහරාන් නමැති පුද්ගලයා ගල්කිස්ස ස්ටෑම් ටවර් ආයතනයට මූණ ආවරණය කරගෙන බෙල්ලේ සිට පාදක්වා ඇඳුම් ඇදගෙන පුද්ගලයන් අට දෙනෙක් සමග සිටින ආකාරයේ දක්නට ලැබුණා. එහිදී ද සහරාන් දේශනයක් කරනවා.

සහරාන් කියනවා ‘සහෝදරයා නින්දේද ඉන්නේ? අපි නැගිටිමු. නවසීලන්තයේ සිදුවූ බෝම්බ පිපිරීම ආදර්ශය කරගෙන ක්‍රිස්තියානි ආගමික ආයතනය වෙත යම් ක්‍රියාවක් කරමු. අප්‍රේල් 20 වන දින අපි හෙට මේක කරනවා.’ යනුවෙන් එම පෙන්ඩ්‍රයිව් එකේ දත්තවල දක්නට ලැබුණා.

මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිදුවන දේවල් එහි දක්වා තිබුණා. තවද ඔවුන් බෝම්බ පටවාගෙන සිනා මුසුව යන ආකාරය දක්නට ලැබුණා.

‘අයි එස් අයි එස්’ ධජය දක්නට ලැබුණා. තක්බීර් යන වචනය ඔවුන් නිතරම කියනවා. තවද T 56 අවියක් තියන් ඉන්නවා. දේශනයක් කරනවා නම් අවි අවශ්‍ය වන්නේ නැහැ. බෝම්බෙ තියන්න කලින් දවසේ වුණ දෙයක් මේක එඩික් කරපු දෙයක් නෙවෙයි.

එම සිද්ධියට 547 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන සාක්ෂි කැඳවීම අවසන් කළා.

ඉන්පසු විත්ති වාචක සම්බන්ධයෙන් කරුණු සලකා බැලුවා.

පළමු වන චූදිත පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් සිය විත්ති වාචකය අධිකරණයේදී ඉදිරිපත් කළා. නමුත් ඔහු විසින් කළ විත්ති වාචකය ඔහුට එරෙහිව ඇති බරපතල චෝදනාවලින් ගැලවීමට කළ ප්‍රකාශක් හෙයින් එය අධිකරණය ප්‍රතික්ෂේප කරනවා.

එලෙසම දෙවන විත්තිකරු වන ගපුර් මාමා, 4,5,7,8,9,10,11 ,15,16,18,19 යන විත්තිකරුවන් විත්තිකූඩුවේදී ලබාදුන් ප්‍රකාශ විශ්වාසනීය භාවයෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කරනවා.

ඉන්පසුව විනිසුරුවරුන් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කළා.

එහිදී අධිකරණය විසින් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙක් (01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10 [16 වන චෝදනාව හැර], 11, 15, 16, 18, සහ 19 යන විත්තිකරුවන්) සියළු චෝදනාවලට වරදකරුවන් කරනු ලැබුවා.

නඩුවේ විත්තිකරුවන් 09 දෙනෙක් (12, 13, 14, 20, 21, 22, 23, 24 සහ 25 යන විත්තිකරුවන්) සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළා.

 
මෙහිදී,

11 වන විත්තිකාර හුසේයිනුල් කාලිද් සමීර් වැරදිකරු වීමෙන් පසු අධිකරණයට මෙසේ ප්‍රකාශ කළා.

" ස්වාමීනි මට නීතිඥ සහායක් නෑ. මං කරන ප්‍රකාශයේ වරදක් වුණොත් මට සමාවෙන්න. මම අවුරුදු හත හමාරක කාලයක් පාස්කු සිද්ධියට රිමාන්ඩ් වෙලා ඉන්නවා. අවුරුදු එකොළහකින් තමයි මගේ අම්මයි තාත්තයි ආයේ එකතු වුණේ. ඒ දෙන්නත් එක්ක මට ඉන්න ඕන. පොඩි කාලේ ඉඳන්ම මට එයාලත් එක්ක ඉන්න බැරි වුණා. මං හිතුවා දැන්වත් මට ඉන්න පුළුවන් වෙයි කියලා.

මං මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි. මට ඕනි එයාලට සලකන්න. ඒත් දැන් වෙලා තියෙන්නේ එයාලට මාව බලන්න එන්න.

මම රජයේ සාක්ෂිකාරයෙක් හැටියට පුත්තලම සහ මහනුවර තිබූ නඩුවලට සාක්ෂි ලබා දුන්නා. මං හිතුවා මේ නඩුවෙත් මාව රජයේ සාක්ෂිකාරයෙක් කරයි කියලා ඒකයි මං ප්‍රකාශයක් ලබා දුන්නේ.

ස්වාමීනී, මම අත්අඩංගුවට ගන්නකොට මට විවාහ යෝජනාවක් තිබුණා. ගෙදරින් ඒ ගෑණු ළමයා තාමත් මං වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ හින්දා ස්වාමීනී මට අත්හිට වූ සිර දඩුවමක් ලබා දෙන්න.”

මෙම නඩුවේ සිව්වැනි විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහීම් සාදික් අබ්දුල්ලා වැරදිකරු වීමෙන් පසු අධිකරණයට මෙසේ පැවසුවා.

" ස්වාමීනි මම සතුටින් ඉන්නවා. මේ අධිකරණය පුද්ගලයන් නව දෙනෙක් නිදහස් කළා. ඒකට මට ඉතාම සතුටුයි. මේ නඩුවට රජය විසින් විශාල වියදමක් දැරුවා. බන්ධනාගාර ජීවිතය ප්‍රයෝජනත්ව ගත කරන්න මම කටයුතු කරනවා. මාව එළියට යැව්වා නම් මගේ පවුලට සමාජයට රටට ප්‍රයෝජනයක් වෙයි. මට කවුරුත් වියදම් කරන්න අවශ්‍ය නෑ.මට මාව බලාගන්න පුළුවන්.

" මාව මවපු දෙවියන් දන්නවා මම නිවැරදිකරු කියලා. මගේ ආගම අනුව ලෝක විනාශයක් ඇවිත් නැවත පුනරුත්තියක් ලබනවා. ඒ වෙලාවෙ දෙවියන් විසින් මේ නඩුව විභාග කර තීන්දුවක් ලබාදෙයි. ඒ වෙලාවෙද මම වැරදිකරුවෙක් නොවෙයි නම් නිදහස් කරයි. ඒ වෙලාවේ මුළු ලෝකයම දකී කවුද වැරදිකරුවෝ නිවැරදිකරුවෝ කියලා.

හැබැයි අන්න ඒ වෙලාවෙ මුළු ලෝකයම දැන දැනගනී මම නිවැරදිකරුවෙක් කියලා. අද මම වැරදිකරුවෙක් වෙලා ඒක වෙනස් කරන්න බැහැ. මම වැරදිකරුවෙක් නොවේ කියලා පෙන්නන්න සුදුසු අවස්ථාවක් එයි.

5 වන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහීම් සාහිඩ් අබ්දුල් හක් වැරදිකරු වීමෙන් පසු අධිකරණයට මෙසේ ප්‍රකාශ කළා.

" ස්වාමීනි, මම මේ නඩුවේ පස්වන චූදිත. මේ නඩුවේ හතරවන චූදිත මගේ සහෝදරයා. මීට එක වෙලාවකටට පෙර 14 චුදිත වන මගේ පියා නිදොස් කොට නිදහස් වුණා.

මායි මගේ සහෝදරයයි අවුරුදු හත හමාරක් සිරගත වෙලා හිටියා. මගේ තාත්තා පාස්කු ප්‍රහාරය වීමට මාස තුනකට පෙර සිරගත වෙලා හිටියා. මගේ ලොකු මල්ලිත් සිරගත වෙලා හිටියා. මගේ නංගි අවුරුදු දෙකහමාරක් සිරගත කරලා තිබුණා. දැන් ඒ නඩුවෙන් නිදොස් කරලා තියෙනවා. මගේ සහෝදරයාගේ බිරිඳ අවුරුදු හතර හමාරක් සිරගත කරලා නිදහස් කරලා තියෙනවා. මගේ බාල මල්ලිට අවුරුදු නවයයි. බාල නංගිට අවුරුදු හතයි. එයාලත් දින පහක් පොලිස් කූඩුවේ හිටියා. මේ සිද්ධියට. මෙහෙම බලනකොට අපේ පවුලේ ගොඩක් අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කළා. ඒක අපට හරිම පීඩනයක්.

" මේ නිසා අපේ පවුල බොහෝ පීඩාවට ලක්වෙලා තියෙනවා තියෙනවා. මම සිරගත වෙනකොට අවුරුදු විසි හතයි දැන් මට තිස්හතරයි. අවුරුදු හත හමාරක්ම මේකට රිමාන්ඩ් වුණා. අද මම වැරදිකරු වෙලා. මම මේ ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම සම්බන්ධ නැති බව මා මවපු දෙවියන්වහන්සේ දන්නවා. මම මෙම චෝදනාවලට වැරදිකරු නොවෙයි.

විදෙස් රටවලින් පවා මෙම නඩුවට දෙන තීන්දුව ගැන බලාගෙන ඉන්නවා. කෝටි ගණන් මුදල් යට කරලා මෙම නඩුව කරනවා. කොහොම වුණත් මං දන්නවා මම නිවැරදි කාරයෙක් කියලා.

2,7,8,10,15,18,19 වන විත්තිකරුවන් වැරදිකරු වීමෙන් පසු ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ කනීල් මද්දුමගේ අධිකරණයට මෙසේ ප්‍රකාශ කළා.

" ස්වාමීනි , මෙම චුදිතයින් වැරදිකරුවන් බවට පත් කරලා තිබෙනවා. ස්වාමීනී මම ලිහිල් දඩුවමක් දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 (අ) වගන්තිය යටතේ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීමේ චෝදනාවලට තමයි චූදිතයන්ට චෝදනා ගොනුකර තිබෙන්නේ.

2 වන චූදිත අවුරුදු 61 ක පුද්ගලයෙක් ඔහු විවාහකයි. ළමයි පහක් ඉන්නවා. දියණිය තමයි සෙයිනි. සාරාන්ගේ සහෝදරයා බැඳලා හිටියේ. සයින්දමරුදු බෝම්බ පිරීමෙන් මිය යනවා.

7 වන චූදිත වයස අවුරුදු 45යි. විවාහකයි. දියණිය උසස් පෙළ හදාරනවා. බිරිඳ රෙදි මහලා තමයි ජීවත් වෙන්නේ.

8 වන චුදිත වයස අවුරුදු 42යි. මොහු තමයි පවුලේ එකම ආදායම් මාර්ගය.

10 වන චුදිත අවුරුදු 53ක පුද්ගලයෙක්. විවාහකයි. ළමයි හතක් ඉන්නවා. බිරිඳට රැකියාවක් නැහැ.

15 චූදිත විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දියණියක් මිය ගිහිල්ලා.

18 වන චූදිත අවුරුදු තිස්තුනයි. විවාහක පුද්ගලයෙක්. වයස අවුරුදු අටක දුවෙක් ඉන්නවා.

19 වන චුදිත 43යි වයස. ළමයි 4ක් ඉන්නවා. පවුලේ එකම ආදායම් මාර්ගය මොහු.

මෙම සැකකරුණු සලකා බලා ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලනවා. ඒ වගේම, ස්වාමීනී සිරිගත වීමෙන් පසු නැවත සමාජ ගතවීමට අවස්ථාවක් ලබා දෙන්න. අනුකම්පාව දයාව දක්වන්න"

වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයට ‍මෙසේ කරුණු දැක්වුවා.

" ස්වාමීනි මෙම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව ආරම්භ කරන්නේ 2023 ඔක්තෝබර් මස 06 වැනිදා. අද තමයි සිද්ධියට අදාලව තීන්දුව ලබා දුන්නේ. 15 දෙනෙක් වැරදිකරුවන් කළා. පුරා වසර තුනක් මෙම නඩු විභාගය පැවැත්වුණා.

ඔබතුමා දන්නවා තැන් තුනකට මෙම නඩුව ගමන් කළා. කොළඹ මහාධිකරණ සංකීර්ණයේ තිබිලා පසුව බෞද්ධාලෝක මාවතට ගිහිල්ලා නැවත කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහඅධිකරණ සංකීර්ණයට ගෙනාවා.

සිද්ධියට අදාලව ඇති පසුබිම හඳුනා ගැනීමෙන් පැහැදිලි වෙනවා 2019 අප්‍රේල් 21 දියත් කළ එම ප්‍රහාර මාලාවට මෙම සැකකරුවන් කෙසේ සම්බන්ධ වී ඇතිද යන්න සම්බන්ධයෙන්"

" තවද අනස් කියන සාක්ෂිකරු ලබා දුන් සාක්ෂිවලින් පැහැදිලි වෙනවා අනස් කියන්නේ සහරාන් සමගම එකට හිටපු කෙනෙක් කියලා. තවද ජවුෆර් සාදික් ලබා දුන් සාක්ෂිවලිනුත් ඒ බව අනාවරණය වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව මෙම චූදිතයන්ගේ එක් චෝදනාවකට උපරිම අවුරුදු විස්සකට අඩු දඩුවම් නියම කළ හැකියි."

" ස්වාමීනී, මේ පුද්ගලයන්ගේ අවසන් විත්ති වාචික ඇහුවාම මට හරි පුදුමයක් දැනෙනවා. මේ අය අයට මෙච්චර වරදකට දඬුවමක් ලබන්න සූදානම් වෙලා සිටිද්දිත් හැමෝම කියනවා අපිට හරිම සතුටුයි කියලා. මේ අය කෙතරම් අන්තවාදීද කියනවනම් ඔවුන්ගේ සිත්වල අඩු තරමේ කණගාටුවක්වත් නෑ. මේ අය කුමන්ත්‍රණය කරලා ආධාර අනුබල දීල මැරිල ගියේ කාටවත්ම වරදක් කරපු මිනිස්සු.

තමන්ගේ ආගමේ වැදගත්ම උත්සවයක් දවසේ ආගමික කටයුතු වෙනුවෙන් දේවස්ථානයට ගිය අහිංසක මිනිස්සු. එයාලා කරපු වරද මොකක්ද?. අදටත් ජීවත්වෙන මිනිස්සු ජීවත් වුණත් මැරුණා හා සමානයි. පාස්කු ප්‍රහාරයෙන් කැඩිලා බිඳිල ගිය ගොඩනැගිලි අලුත් වැඩියා කරා. හැබැයි ඒ ප්‍රහාරයෙන් කැඩිල බිඳිලා ගිය ඒ ජීවිත කවදාවත් අලුත් වැඩියා කරන්න, යළි තිබුණ තත්ත්වයට හදන්න බෑ ස්වාමීනි.

මේ අයට දෙන්න ඕන උපරිම දඬුවම දෙන්න ඕනේ. අපි මේ චෝදනාවලට නඩු පවරලා තියෙන ආකාරය අනුව එක් චෝදනාවකට මොවුන්ට අවම වසර පහක් සහ උපරිම වසර විස්සක් දක්වා දඬුවම් ලබාදිය හැකියි.

අපි ඉල්ලා සිටින්නේ ඒ චෝදනාවලට එකවර ගෙවී යන ලෙස නොව වෙන් වෙන් වශයෙන් ගෙවී යන ලෙස දැඩි දඬුවම් ලබා දෙන ලෙසයි. මේ අන්තවාදී කණ්ඩායම්වල අදහස වුණේ මේ රටේ මේ ලෝකේ සියලුම ජනතාව අන්තවාදී ආගම වැළඳ ගත යුතුයි කියලා. එහෙම කරන්නෙ කොහොමද ස්වාමිනි?

තමන් කැමති ආගමක් අදහන්න හැමෝටම අයිතියක් තියෙනවා. අපි ඉතා ප්‍රබල සාක්ෂි ගෙනල්ලා මේ අයගේ වරදවල් සම්බන්ධයෙන් මේ අධිකරණය හමුවේ ඔප්පු කරනු ලැබුවා. මේ අය අතර තිබිලා සොයා සොයාගත්ත පෙන්ඩ්‍රයිව් එකක තිබුණු වීඩියෝ පටියක් අපි මේ නඩුව යන අතරතුරේදී අධිකරණ ශාලාවව තුළ කාටත් බලන්නට සැලැස්සුවා.

එහිදී අපි දැක්කා ඔවුන් බෙදා හදාගෙන තිබූ ඉතාම අන්තවාදී අදහස්. මේක මුළු ලෝකයේම අන්තවාදින්ට පාඩමක් වන ලෙස දැඩි දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා."

ඒ අනුව, මෙම නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කිරීම සිදුවුණා.

ඒ අනුව, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතල සිරදඬුවම් නියමකර තිබෙනවා.

එමෙන්ම ඔවුන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කළා.

මෙලෙස දඬුවම් නියම වූයේ ...

පළමුවැනි විත්තිකාර මොහොමදු නවුෆර් මවුලවී යන අයට වසර 220ක්ද, දෙවැනි විත්තිකාර මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ නොහොත් ගපූර් මාමා යන අයට වසර 240ක්ද, තෙවැනි විත්තිකාර හයාතු මොහමදු අහමදු මිල්හාන් යන අයට වසර 240ක්ද, සිව්වැනි විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා යන අයට වසර 240ක්ද, පස්වැනි විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් යන අයට වසර 240ක් ද, හයවැනි විත්තිකාර මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන් යන අයට වසර 200ක්ද, හත්වැනි විත්තිකාර මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන් යන අයට වසර 200ක්ද, අටවැනි විත්තිකාර අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස් යන අයට වසර 260ක්ද, නවවැනි විත්තිකාර මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත් යන අයට වසර 220ක්ද, දසවැනි විත්තිකාර අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16වැනි චෝදනාව හැර) යන අයට වසර 220ක්ද, එකොළොස්වැනි විත්තිකාර හුසේයිනුල් රිස්වී කාලිද් සමීර් යන අයට වසර 200ක්ද, පහළොස්වැනි විත්තිකාර මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන් යන අයට වසර 200ක්ද, දහසයවැනි විත්තිකාර මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස් යන අයට වසර 220ක්ද, දහඅටවැනි විත්තිකාර රාසික් රසා හුසෙන් යන අයට වසර 220ක්ද, සහ දහනවවැනි විත්තිකාර කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත් යන අයට වසර 200ක් ද වශයෙන් අඬුවම් නියම කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes