ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් 2026 ජූනි 23 දින ආසියානු සහ පැසිෆික් කලාපීය සහයෝගී ගුවන් ආරක්ෂක වැඩසටහනේ (Cooperative Aviation Security Programme – Asia Pacific - CASP-AP) 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම (Steering Committee Meeting - SCM) සාර්ථකව ආරම්භ කරන ලදී. මෙම රැස්වීම සඳහා ආසියා-පැසිෆික් කලාපය පුරා සිටින ගුවන් ආරක්ෂක නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණික විශේෂඥයින් එක්ව සිටියහ.
සමාරම්භක උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස CASP-AP සභාපතිත්වය සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා 2026–2027 කාලසීමාව සඳහා CASP-AP සභාපති ධුරය භාරගත්තේය. මෙම පත්වීම ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට හිමි වූ සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, කලාපීය ගුවන් ආරක්ෂක ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ නායකත්වය පිළිබඳ පවතින විශ්වාසය තවදුරටත් තහවුරු කරයි.
මෙහිදී අදහස් දැක්වූ කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා, ගුවන් ආරක්ෂාව සම්බන්ධ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළි අවධාරණය කළේය. එමෙන්ම, නිරන්තරයෙන් විකාශනය වන ගුවන් ආරක්ෂක අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා සහයෝගීතාව, නව්‍යකරණය සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
ගෝලීය ගුවන් සේවා පද්ධතියේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීම සඳහා කලාපීය හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
මෙම 21 වන CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීමට සාමාජික සහ සහභාගී රාජ්‍යයන් 22ක් නියෝජනය කරමින් නියෝජිතයන් 70කට අධික පිරිසක් සහභාගී වූ අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිලධාරීන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කලාපීය ගුවන් සේවා සංවිධානවල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්වූහ.
මෙම පුළුල් ජාත්‍යන්තර සහභාගීත්වය ආසියා-පැසිෆික් කලාපයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පවතින කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම තවදුරටත් ඉස්මතු කළේය.
ICAO ආසියා හා පැසිෆික් කලාපීය කාර්යාලයේ අධ්‍යක්ෂ ටාඕ මා මහතා ශ්‍රී ලංකාව ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන කැපවීම අගය කළේය. ගුවන් ආරක්ෂාවට අදාළව මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජික රාජ්‍යයන් අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ඔහු, ආසියා-පැසිෆික් කලාපය තුළ ගුවන් ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා CASP-AP වැඩසටහන ලබා දෙන දායකත්වය ද පැසසුමට ලක් කළේය.
එමෙන්ම, CASP-AP සභාපතිත්වය භාරගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කළ ඔහු, වැඩසටහනේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ නායකත්වය පිළිබඳ සිය විශ්වාසය ද පළ කළේය.
CASP-AP හි ප්‍රධාන තීරණ ගැනීමේ සංසදය ලෙස සැලකෙන මෙම මෙහෙයුම් කමිටු රැස්වීම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, උපායමාර්ගික ප්‍රමුඛතා හඳුනා ගැනීම, හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි.
ගුවන් ආරක්ෂාවට අදාළව මතුවන අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට, හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමට සහ ජාත්‍යන්තර ගුවන් ආරක්ෂක ප්‍රමිතීන් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දීමට මෙම සංසදය අවස්ථාව සලසයි.
මෙම මෙහෙයුම් කමිටු රැස්වීමේදී CASP-AP වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම, උපායමාර්ගික ප්‍රමුඛතා සාකච්ඡා කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ඇගයීම සහ ආසියා-පැසිෆික් කලාපය තුළ ගුවන් ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අනාගත වැඩසටහන් හඳුනා ගැනීම සිදු කෙරේ.
Latest News
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක
ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි
ශ්‍රී ලංකාව CASP-AP සභාපතිත්වය භාරගනිමින් CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කරයි
භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සමග බිරිඳත් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
අපේ මන්ත්‍රීලා වාහනයක්වත් අරගෙන නෑ.. අපි ජනතා මුදල් සාංඝික දේපළක් වගේ රකින්නේ එහෙමයි.. - මාලිමා මන්ත්‍රී අසිත
ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්
ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය කිලෝ 35ක් රේගු භාරයට