Sports06 June 2026

වෙබ් අඩවියේ දෝෂයක් නිසා නොමිලේ නිකුත් වූ ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට පියවර

ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන ෆිෆා (FIFA) ආයතනයේ නිල වෙබ් අඩවියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබා ගැනීමට හැකි වූ ප්‍රේක්ෂකයින් 60 දෙනෙකුගේ පමණ ප්‍රවේශ පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට එම ආයතනය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී (Checkout process) සිදු වූ ගෙවීම් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රවේශ පත්‍ර ඇමරිකානු ඩොලර් බින්දුවක ($0 USD) අගයකින් යුතුව අදාළ ප්‍රේක්ෂකයින් වෙත නිකුත් වී ඇති බවයි ෆිෆා ආයතනය X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, එම ප්‍රවේශ පත්‍ර දැනට ඔවුන් වෙනුවෙන් වෙන් කර (Reserved) තබා ඇති අතර, දින 7ක් ඇතුළත ඊට අදාළ නියමිත සම්පූර්ණ මුදල ගෙවා ඒවා ලබා ගන්නා ලෙස ෆිෆා ආයතනය එම ප්‍රේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා. එම කාලය තුළ මුදල් නොගෙවන්නේ නම් එම වෙන් කිරීම් සම්පූර්ණයෙන්ම අවලංගු වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සත්කාරකත්වයෙන් ජූනි 11 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතීම සහ ටෙන්ඩර් ක්‍රියාවලීන්හි පවතින ගැටලු පිළිබඳව දැනටමත් ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහක් සහ විවේචනයක් නිර්මාණය වී ඇති පසුබිමකයි මෙම නවතම තාක්ෂණික දෝෂය වාර්තා වී ඇත්තේ.

සිදු වූ මෙම වැරදීම සහ ඉන් පාරිභෝගිකයින්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව ෆිෆා ආයතනය සිය කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

මුලාශ්‍රය : රොයිටස්
Related Recomands
Hiru TV News | Programmes